Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු චක්‍රය (2019 - 2021) නිමා කළේ පසාද ලකුණු පුවරුවේ හත්වැනි ස්ථානය ලබාගනිමිනි. දෙවැනි චක්‍රය (2021 - 2023) නිමා කළේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානය ලබාගනිමිනි. එහෙත් තුන්වැනි චක්‍රය (2023 - 2025) ආරම්භ කරන්නේ කලින් වසර හතරටම වඩා ශක්තිමත් වූත්, ස්ථාවර වූත් කණ්ඩායමක් ලෙසිනි.
“මගේ කණ්ඩායම ගැන මට විශාල විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මගේ අරමුණ වෙන්නේ හැකි සෑම තරගයක්ම දිනාගෙන, අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමයි” යයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර, ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී දිමුත් කරුණාරත්න එසේ කියා සිටියේය.
“මේක අලුත් ආරම්භයක්. අපි හැමෝටම හොඳ ආරම්භයක් ලබාගන්න ඕනා. විශේෂයෙන්ම අපේ රටේදි පැවැත්වෙන තරගාවලියකින් 2023 - 25 තරග චක්‍රය ආරම්භ කරන්න ලැබීම ඉතාම හොඳ දෙයක්”
“ඉස්සෙල්ලාම අපි ශ්‍රී ලංකාවේ තියන තරග සියල්ලම දිනාගන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවෙන් පිටතදී තියෙන තරග කිහිපයකුත් දිනාගන්න ඕනේ.... පසුගිය අවුරුද්දේ වුණත්, අපි ඕස්ටේ්‍රලියාවත් එක්කයි, පාකිස්තානයත් එක්කයි (පරාජය වූ) තරග දෙක දිනාගත්තා නම්, අපට ලේසියෙන්ම ලෝක ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන්න තිබුණා” යයි කී දිමුත්,....
“ගිය වතාවේ කරපු වැරදි මොනවාද කියලා අපි දන්නවා. ඒ හින්දා මේ වතාවෙදි ඒ වැරදි වෙන්න දෙන්නේ නෑ. පාකිස්තානයත් එක්ක තරගාවලියට අපි සූදානම්” යයිද පැවසීය.
පසුගිය වසර හතර සමග සැසඳීමේදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය මේ වන විට වඩාත් ස්ථාවර මට්ටමක තිබේ. ටෙස්ට් කණ්ඩායමක් වශයෙන් ශ්‍රේණිගත අංක 7 ස්ථානයේ සිටින නමුත්, ඕනෑම අවස්ථාවකදී තමන්ට වඩා ඉහළින් සිටින කණ්ඩායමකට කරට කර සටනක් දීමේ හැකියාව වත්මන් ටෙස්ට් කණ්ඩායමේ තිබේ. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිටින පාකිස්තානයත් (86) හත්වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවත් (84) අතර ප්‍රසාද ලකුණු පරතරය 02 කි.
දිමුත්ගේ පාදයේ කලව මස්පිඬුවේ තිබූ ආබාධය සුවවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් නැත. නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් වන අතර කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම යන සියලු දෙනාම ලකුණු අතර සිටින පිතිකරුවෝ වෙති. පන්දු යවන්නන් හතර දෙනා අතරේ සිටින දෙදෙනකුටත් ලකුණු 50 ක් 60 ක් පුවරුවට එකතු කිරීමේ බැරිකමක් නැත.
සුපුරුදු පරිදි රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය දෙදෙනා දඟ පන්දු යැවීමේ වගකීම බාරගැනීමට සූදානමින් සිටිති. ඔවුන් දෙදෙනාගෙන් වමත්කාරයා වන ප්‍රභාත් ජයසූරිය හමුවේ වැඩි බලාපොරොත්තු රඳවා තිබේ. ඊට හේතුවක් තිබේ.
වමත් දඟ පන්දු යවන්නන් හමුවේ හැමදාමත් දුර්වල වන පාකිස්තානුවෝ, වසර 2009 සිට මේ දක්වා, රංගන හේරත් (106), ලසිත් ඇඹුල්දෙණිය (5) සහ ප්‍රභාත් ජයසූරිය (17) තිදෙනා හමුවේ පමණක් කඩුලු 128 ක් අහිමි කරගෙන සිටිති. එහි අදෘශ්‍යමාන කාරණාව නම්, වසර 2000 දී, අමීර් සොහේල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු, කිසිම වමත් දඟ පන්දු යවන්නකුට පාකිස්තානු කණ්ඩායමේ ස්ථාවරයක් ගොඩනඟාගත නොහැකි වීමයි. ඒ හේතුවෙන් පාකිස්තානු පිතිකරුවන්ට හොඳ මට්ටමේ වමත් දඟ පන්දු යවන්නකු හමුවේ පුහුණුවීමේ අවස්ථාව අහිමි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යැවීම කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාට බාර කර තිබේ. කාසියේ වාසිය දිනාගත්තත් නැතත්, පළමු ඉනිම සාර්ථකව ක්‍රීඩා කිරීම දිමුත්ගේ මූලික අපේක්‍ෂාවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතර ඉදිරිපෙළ කඩුලු රකින්නෝ තිදෙනෙක්ම සිටිති. නිශාන් මධුෂ්ක (අංක 1 පිතිකරු), කුසල් මෙන්ඩිස් (අංක 3 පිතිකරු) සහ සධීර සමරවික්‍රම (අංක 7 පිතිකරු) තිදෙනාගෙන් පිතිකරු ලයිස්තුවේ පහළින් එන සධීරට කඩුලු රැකීමේ අත් ආවරණ බාර කෙරෙනු ඇත. යම් හෙයකින් පළමුව පන්දු රැකීමට සිදුවුවහොත්, දීර්ඝ ඉනිමක වෙහෙසකර කඩුලු රැකීමකින් පසුව, පිතිහරඹයට යාමට පෙර, කඩුලු රකින්නාට අවශ්‍ය විවේකය දීම එහි අරමුණයි. කුමාර් සංගක්කාර වුවද, පිතිකරුවකු ලෙසින් වඩාත් සාර්ථක වූයේ සිය කඩුල රැකීමේ අත් ආවරණ ප්‍රසන්න ජයවර්ධනට බාර කිරීමෙන් පසුවය.
ශ්‍රී ලංකා සංචිතය :
දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මධුශංක සහ ලක්‍ෂිත මනසිංහ
පාකිස්තානු සංචිතය :
බාබර් අසාම් (නායක), අබ්දුල්ලා ශෆීක්, ඉමාම් උල් හක්, ශාන් මසූඩ්, සර්ෆ්‍රාස් අහමඩ්, සවුද් ශකීල්, අඝා සල්මාන්, මොහොමඩ් නවාස්, නසීම් ශා, අබ්රාර් අහමඩ්, ශහීන් ෂා අෆ්රීඩි, මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, හසන් අලී, මොහොමඩ් හුරයිරා සහ නවුමන් අලී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.