Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දූෂණ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ

දූෂණ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ

Nisanka Sandeepani - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින දූෂණ චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ (03) පස්වරුවේ තහවුරු කළේය.

“අපි ඒ පරීක්‍ෂණ පිළිබඳව දන්නේ නෑ. අයි.සී.සී. ය එය කරගෙන යයි. අපිට එයට මැදිහත් වෙන්න බෑ” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ යැයි කියවෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට එහි දූෂණ මර්ධන අංශය කටයුතු කරමින් සිටින බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට දැඩි දූෂිත තත්ත්වයක පවතින බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනතුරු අගවා ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා පැවසුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ අධ්‍යක්‍ෂවරයා තමන්ද හමුවූ බවයි. 

“ශ්‍රී ලංකාව් ක්‍රිකට් දූෂිත තත්ත්වයක පවතින බව මට පැවසුවා. එම නිලධාරියා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් හමුවුණා. අපේ නිලධාරීන්ටත් දූෂණ මර්ධනය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදෙන ලෙස මම ඉල්ලීමක් කළා” යැයි එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 

මෙම පරීක්‍ෂණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 

“ඔවුන් තරග පාවාදීම පිළිබඳව පරීක්‍ෂණ කරනවා මම හිතන්නේ. අයි.සී.සී. නිලධාරීන් සාක්‍ෂි නැතුව මෙහෙම එන්නෙ නෑ. ඔවුන් ඉදිරියේදී නම් හෙළි කරයි. විවිධ ක්‍රීඩකයන්ගේ නම් කියෙවෙනවා ඒවා පිළිගන්න බෑ. මොකද මේවගේ අවස්ථාවල පළිගැනීමුත් සිදුවෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිලධාරීන් මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් විමර්ෂණය කරන බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කීපදෙනකුගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නිරත වූ ඉහළ පෙළේ නිලධාරීන් සහ පුද්ගලයන් කීපදෙනකුගේ නම් එහිදී හෙළි දරව් වී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිලවශයෙන් මේ දක්වා නම් හෙළිකිරීමක් කර නොමැත.  


අදහස් (0)

දූෂණ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.