Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට

දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සූදානම් වෙයි. ජාතික ක්‍රීඩා පනතේ සංශෝධනවලට අනුගත වීම සඳහා, ක්‍රීඩා අමාත්‍යංශයේ නිර්දේශ මත, කරනු ලබන මෙම වෙනස්කම හේතුවෙන් මින් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පිට පිටම දෙවරක් ජයගැනීමට සමත්වන අයකුට වසර 8 ක කාලයක් සිය තනතුරේ රැඳී සිටිය හැකිවනු ඇත.

මෙම වෙනස්කම් කිරීම සඳහා සති දෙකක් ඇතුළත විශේෂ මහ සභා රැස්වීම් දෙකක් පැවැත්වීමට නියමිතය. එහෙත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්බුදයක් පැනනැගිය හැකි බැවින් හෙට (19 වැනිදා) පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීම 31 වැනිදාට කල්තබන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට ගෙනෙනු ලබන පළමු වැනි සංශෝධනය හෙට (19 වැනිදා) පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමේදී ගෙනෙනු ඇත. ඒ අනුව නිලවරණ කමිටුවක් පිහිටුවා නිලවරණය පැවැත්වීමේ වගකීම එම කමිටුවට බාර කෙරේ. විශේෂ මහ සභා රැස්වීමේ දිගුව වන 31 වැනිදා උදේ වරුවේ පැවැත්වෙන රැස්වීමේදී නව ක්‍රීඩා පනතට අනුගත වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කිරීමට නියමිතය.

එදිනම දහවල් පැවැත්වෙන මහ සභා රැස්වීමේදී සංශෝධන ඇතුළත් නව ව්‍යවස්ථාව සමස්ත සාමාජිකත්වයෙන් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුව අපේක්‍ෂා කරයි. එය සම්මත වුවහොත් මැයි මස 31 වැනිදා පැවැත්වෙන නිලවරණයෙන් අනතුරුව මීළඟ ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2022 වසරේදීය.

ක්‍රීඩා පනතේ නවතම සංශෝධන අනුව ජාතික ක්‍රීඩා සංගමයක පාලන කාලසීමාව වසර 4 ක් විය යුතුවේ. එය ජාතික ඔලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ මත ඇතිකරන ලද වෙනස්කමකි. එහෙත් කිසියම් නිලධාරියකුට එකම තනතුර සඳහා දෙවරක් ඉදිරිපත් වීමේ අවස්ථාව එහි ඉතිරිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අවසන් වරට සංශෝධනය කළ අවස්ථාවේදී එහි සභාපතිවරයාගේ පාලන කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කෙරිණ. ඒ අනුව 2016 දී සභාපති තනතුරට පත් තිලංග සුමතිපාල මහතාගේ පාලන කාලය 2018 දක්වා පැවැතිණ.

මේ වසරේ නිලවරණය මෙන්ම මහ සභා රැස්වීම හෙටට යොදාගෙන තිබූ නමුත් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ නියෝගයකින් එය මැයි 31 වැනිදාට කල්දමන ලදී.

“ව්‍යවස්ථාවක් වෙනස් කරන අවස්ථාවකදී ඒ සම්බන්ධ යෝජනා කෙටුම්පත් මහ සභා රැස්වීමකට දවස් 28 කට කලින් සාමාජික ක්‍රීඩා සමාජ වෙත යවන්න ඕනේ. අප්‍රේල් මස 6 වැනිදා අපි ගත්ත තීරණයක් අනුව අදාළ වෙස්කම් සහිත කෙටුම්පත් අපි ක්‍රීඩා සමාජ සියල්ලම වෙත යැව්වා....ඊට පස්සේ ඒවා කියවලා බලලා, තේරුම් අරගෙන ඒ සම්බන්ධයෙන් යෝජනා නැත්නම් චෝදනා ඉදිරිපත් කරන්න මහ සභා රැස්වීමේදී සාමාජිකත්වයට අවස්ථාව තියෙනවා” යයි ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්  සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

“අපි කලින් යොදාගත් විදිහට මේ වෙනස්කම් කරන්න හිතාගෙන හිටියේ මැයි 19 වැනිදා පැවැත්වෙන මහ සභා රැස්වීමේදී. ඒත් අපේ ව්‍යවස්ථාවේ හැටියට නිලවරණ කමිටුවක් කියලා එකක් නෑ. ඒ නිසා අපි විධායක කමිටුවෙන් නම් 5 ක් යෝජනා කරලා නිලවරණය තියන්නයි සූදානම් වුණත් ක්‍රීඩා ඇමතිතුමා කිව්වා විශේෂ මහ සභා රැස්වීමකින් තියලාම නිලවරණ කමිටුවක් පත්කරගන්න කියලා”

“ඒ නිසා තමයි මේ දේවල් ටික දවසකට කල්ගියේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජයකින් කළ විමසීමේදී එහි නියෝජිතයකු කියා සිටියේ තමන් තවමත් යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ මට්ටමේ රැස්වීමක් පවත්වා නැති බවත් 31 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වා තීරණයක් ගන්නා බවත්ය.

 


අදහස් (0)

දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.