Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනුෂ්ක - චන්දිමාල් ආපසු එති

ධනුෂ්ක - චන්දිමාල් ආපසු එති

Nisanka Sandeepani - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 23 සහ 24 දෙදින දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි  තරගමාලාවේ දැවැනි අදියරේ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවීණ ක්‍රීඩකයන් වන ධනුෂ්ක රන්ජන් සහ චානක චන්දිමාල් යළි එක්වී සිටිති.

ආබාධ හේතුවෙන් පසුගියදා  හොංකොං හී දී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියරේ තරගාවලිය මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අහිමි විය. 

ධනුෂ්ක රන්ජන් උරහිසේ ආබාධයකට ලක්ව සිටි අතර චානක චන්දිමාල්ට අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ ඔහු පැපොල රෝගයට ගොදුරුවීම හේතුවෙනි.

සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් දකුණු කොරියානු තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා පිලට ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනකු එක්වෙද්දී හොං කොං තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් පෑ කවිඳු පෙරේරාට මෙවර තරගාවලිය අහිමිවී තිබේ. ඒ දකුණු පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

හොං කොං තරගාවලියේදී පළමුවරට ජාතික කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා රග්බි පිලේ සමිත් ධනංජයට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ වඩාත් ප්‍රවීණ ක්‍රීඩකයකුට ඉඩදීම සඳහාය. 

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර නැම්ඩොන් ඒෂියාඞ් රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලියට ශ්‍රී ලංකාව තරග වදින්නේ ‘බී‘ කාණ්ඩයෙනි. හොංකොං, මැලේසියාව සහ සත්කාරක දකුණු කොරියාවත් එම කාණ්ඩයේ සිටිති.

හොංකොං තරගාවලියේ කුසලානය දිනූ ජපානය සමග චීනය, පිලිපීනය සහ චීන තායිපේ කණ්ඩායම් ඉන්චියොන්හිදී ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදිති. 

හොංකොං හී නිමාවට පත්වූ පළමු අදියරේ තරගාවලියේදී ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනාගනිමින් පස්වැනි ස්ථානයට පත්විය. එහිදී ජපානයට කුසලානය හිමිවෙද්දී හොංකොං පිල දෙවැනි තැනට පත්විය. දකුණු කොරියාවට තුන්වැනි ස්ථානයත්. චීනයට සිවුවැනි ස්ථානයත් හිමිවිය.

දකුණු කොරියාවට යන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම 
සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ජේසන් දිසානායක, කෙවින් ඩික්සන්, ඕමල්ක ගුණරත්න, නවීන් හීනකංකානම්ගේ, තරින්ද රත්වත්ත, හිරන්ත පෙරේරා, ධනුෂ්ක රන්ජන්, සුදම් සූරියආරච්චි, දනූෂ දයාන්, බුද්ධිම පියරත්න සහ චානක චන්දිමාල්.

අතිරේක ක්‍රීඩකයෝ - සුපුන් ඩිල්ෂාන්, සමිත් ධනංජය, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ රෙහාන් සිල්වා
පුහුණුකරු - පීටර් වුඞ්ස් (නවසීලන්තය)
කළමනාකරු - රොහන් චින්තක

 


අදහස් (0)

ධනුෂ්ක - චන්දිමාල් ආපසු එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.