Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධර්මපාල - කවිඳු කණ්ඩායමේ දොරටුව අබියස

ධර්මපාල - කවිඳු කණ්ඩායමේ දොරටුව අබියස

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ලෙස මේ මස 14 සහ 15 කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යොවුන් උද්යෝගීමත් ක්‍රීඩකයකු වන නවීන් හීනකංකානම්ගේ සේවය අහිමිවී තිබේ. ජාතික රග්බි තේරීම් කමිටු ආරංචිමාර්ග අනුව නවීන් කලවේ නහරයක ඇතිවූ ආබාධයකට ලක්වී සිටී.

කෙසේ වෙතත් කොළඹ තරගාවලිය සඳහා පුහුණුව ලබන ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීණ ක්‍රීඩක රිචඞ් ධර්මපාල, කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන් සහ රෙහාන් සිල්වා ඇතුළත්වී සිටිති. ඒ අනුව අත්දැකීම් බහුල රිචඞ් ධර්මපාල ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත අවසන් කණ්ඩායමට එක්වීමට බොහෝ ඉඩකඩ ඇතැයිද ඔහු සමගම කවිඳු පෙරේරාත් නැවත කණ්ඩායමට ඇතුළත්වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.

රිචඩ් ධර්මපාල

රිචඞ් ධර්මපාල 15 දෙනාගේ සංචිතයට එක්වූයේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය අතරතුර ගෙලෙහි ඇතිවූ ආබාධයකින් පසුවය. ආසියානු තරගාවලියේ පළමු අදියර ලෙස හොංකොං නුවර පැවැති තරගාවලියට එක්වී සිටි කවිඳුට දකුණු කොරියානු තරගාවලිය අහිමිවිය. ඉතා කෙටි කාලයක් ඇතුළත විශිෂ්ට ක්‍රීඩා කෞෂල්‍යයක් විදහා දැක්වූ නවීන් හීනකංකානම්ගේ අහිමිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවකි.

හොංකොං සහ දකුණු කොරියානු තරගාවලි දෙකේදීම පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් කුසලාන වටයේ අවසන් පූර්ව තරගයකින් හෝ අවසන් අදියර නිමා කරගත යුතුව තිබේ. ඒ අවස්ථාව උදාකරගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට චීන තායිපේ සහ චීනය සමග පැවැත්වෙන මූලික වටයේ තරගවලින් ජයගත යුතුව තිබේ.

මූලික වටයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන අනික් කණ්ඩායම දෙවැනි අදියරේ ශූරතාව දිනූ දකුණු කොරියාවයි. ශ්‍රී ලංකාවට පළමු තරගය ලැබී ඇත්තේ ඔවුන් සමගිනි. එහෙත් දකුණු කොරියාවට හිසරදයක් ගෙනදීමට තරම් ශ්‍රී ලංකාව සමත්වනු ඇතැයි සිතිය නොහැකිය.

පස්වරු 2.30 ට චීනය සමග පැවැත්වෙන තරගය තීරණාත්මක එකකි. අවම වශයෙන් සිවුවැනි ස්ථානයෙන් හෝ තරගාවලිය නිමාකර ගැනීම නවසීලන්ත ජාතික පුහුණුකරු යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ සිහිනය වී ඇත. පසුගිය වසරේ තරගමාලාවේදී ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරගාවලිය නිමාවට පත් කළේ දෙවැන්නා ලෙසිනි.

ජපානය, හොංකොං සහ දකුණු කොරියාව වසර 2018 සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ආසියාවට ලැබී ඇති අවස්ථා දෙක සඳහා සටනට බැස සිටිති. ආසියානු තරගමාලාවේ හොඳම කණ්ඩායම් දෙකට ලබන වසරේ හොංකොං සත් සාමාජික ලෝක ශූරතා තරගාවලියේ නැගී එන කණ්ඩායම් 12ක් සඳහා පැවැත්වෙන දෙවැනි කොටසේ තරගාවලියටත් එක්වීමේ අවස්ථාවද උදාවනු ඇත.


අදහස් (0)

ධර්මපාල - කවිඳු කණ්ඩායමේ දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.