Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නකජිමා ටී-කප් පාපැදි සවාරිය ජයගනියි

නකජිමා ටී-කප් පාපැදි සවාරිය ජයගනියි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බටහිර වෙරළ තීරය (මීගමුව) දක්වා අදියර 3 ක් යටතේ පැවැති ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරිය ජයගැනීමට ජපානයේ කිනාන් පාපැදි කණ්ඩායමේ යසුහරු නකජිමා සමත් විය. කිලෝ මීටර් 350.9 ක දුරකින් සමන්විත වූ සමස්ත පාපැදි සවාරිය නිමා කිරීම සඳහා නකජිමාට පැය 7 යි, විනාඩි 45 යි, තත්පර 03 ක කාලයක් ගතවිය.

පාසිකුඩා නරගයේ සිට මහියංගනය දක්වා පැවැති පළමු අදියර ජයගත් නකජිමා, මහියංගනයේ සිට මහනුවර දක්වා පැවැති දෙවැනි අදියර 6 වැනියා ලෙසත්, මහනුවර සිට මීගමුව දක්වා පැවැති තෙවැනි අදියර තෙවැනියා ලෙසත් නිමා කළේය.

කසකස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායමේ ස්ටෙෆාන් ඇස්ටෆියෙව් සමස්ත තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේ නකජිමාට වඩා තත්පරයක් අඩුවෙන් අදියර 3 නිමා කරමිනි. පළමු අදියරේ දෙවැනියා බවට පත්වූ ස්ටෙෆාන්, දෙවැනි අදියරේදී 5 වැනි ස්ථානයත්, තෙවැනි අදියරේ දෙවැනි ස්ථානයත් හිමිකර ගත්තේය.

ජපානයේ යුක්යෝ කණ්ඩායම නියොජනය කළ යොෂිමිට්සු හිරට්සුකා (පැය 7:45:19) සහ ලාඕසයේ සී.එන්.එන්. පාපැදි කණ්ඩායම නියෝජනය කළ ග්‍රිෆින් ලෝගන් (පැය 7:47:41) පිළිවෙලින් සමස්ත පාපැදි සවාරියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගත්හ.

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමටද සමස්ත තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ස්ටෙෆාන් ඇස්ටෆියෙව් සමත් විය. දක්ෂතම කඳු නගින්නා ලෙස සම්මාන දිනාගත්තේ ප්‍රංශ ආරක්ෂ සේවා කණ්ඩායමේ ඇමඩොරී ජුලියන්ය.

පාපැදි සවාරියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනා අතරින් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියොජනය කළ විරාන් රමේෂ් සමත් විය. පැය 8 යි, විනාඩි 02 යි තත්පර 17 කින් අදියර 3 නිමා කළ ඔහු සමස්ත තරගයේ 30 වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලන සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ජනක හේමන්ත (පැය 8 යි, විනාඩි 03 යි, තත්පර 38 කින් අදියර 3 අවසන් කරමින් සමස්ත තරගයේ 34 වැනි ස්ථානය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය.   

යෙව්ගෙනි නෙපොම්න්යචෙෂි, වික්ටර් ඔකිෂෙව්, ස්ටෙෆාන් ඇස්ටෆියෙව්, ආර්මන් කමිෂෙව් සහ ඇලෙක්සි වොලොෂින් යන ක්‍රීඩකයන් නියෝජනය කළ කසකස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායම තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගත්තේ ජපානයේ යුක්යෝ පාපැදි කණ්ඩායම සහ ජපානයේ කිනාන් පාපැදි කණ්ඩායම පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්කරමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික කණ්ඩායම සහ පාපැදි සම්මේලන සභාපතිවරයාගේ කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට සහභාගි විය. සමස්ත කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව කණ්ඩායම් 13 ක් අතරින් පාපැදි සම්මේලන සභාපතිවරයාගේ කණ්ඩායම 10 වැනි ස්ථානයටත්, ජාතික කණ්ඩායම 11 වැනි ස්ථානයටත් පත්විය.

මහනුවර තිලංකා හෝටලය අසලින් අද (6 වැනිදා) පෙරවරු 9.05 ට ආරම්භ වූ තෙවැනි අදියර ජයගැනීමට මැලේසියාවේ ටෙරෙන්ගානු කණ්ඩායම නියෝජනය කළ හරීෆ් සැලේමුද් සමත් විය. කිලෝ මීටර 128 ක දුරකින් සමන්විත වූ තෙවැනි අදියර නිමා කිරීම සඳහා හරීෆ්ට ගතවූ කාලය පැය 2 යි, විනාඩි 44 යි, තත්පර 36 කි. තෙවැනි අදියර නිමා කළ ක්‍රීඩකයන් 57 දෙනාගෙන් 40 ක්ම එකම පොකුරේ පැමිණ තරගය නිමා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරගයේ තෙවැනි අදියර එක් කඳු තරණ අදියරකින් සහ ස්ප්‍රින්ට් (තැනිතලා මාර්ගයක වේගවත්ම ක්‍රීඩකයා තෝරා ගැනෙන) තුනකින් සමන්විත විය. පල්ලේමුල්ල නගරයේදී නිමාවට පත්වූ කඳු තරණ අදියර ජයගැනීමට ඕස්ටේ්‍රලියාවේ ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායමේ නිකලස් වයිට්ද, මාවතගම නගරයේදී නිමාවට පත්වූ පළමු ස්ප්‍රින්ට් අදියර ජයගැනීමට මැලේසියාවේ ටෙරෙන්ගානු කණ්ඩායමේ මසුකි නූර් අමිරුල්ද සමත් වූහ.

පුස්කොළදෙනිය නගරයේදී නිමාවට පත් වූ දෙවැනි ස්ප්‍රින්ට් අදියර මෙන්ම දංකොටුව නගරයේදී නිමාවට පත් වූ තෙවැනි ස්ප්‍රින්ට් අදියරද ජයගැනීමට සමත් වූයේ ප්‍රංශ ආරක්ෂක සේවා කණ්ඩායමේ ස්ටීවන් පෝල්හයිස්ය.
තෙවැනි අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනාගෙන් එම අදියර නිමා කිරීමට සමත් වූයේ ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණි. එහිදී සංජු දීමන්ත 15 වැනියා ලෙසත්, ජානක හේමන්ත 17 වැනියා ලෙසත්, විරාන් රමේෂ් 25 වැනියා ලෙසත් තෙවැනි අදියර නිමා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කළ මධුෂංක ප්‍රභාත්ට සහ ප්‍රියන්ත විජේසිංහට තෙවැනි අදියර නිමා කිරීමට නොහැකි වූහ.


තෙවැනි අදියරේ තරග ප්‍රතිඵල
1 හරීෆ් සැලේමුද් - පැය 2:44:36 (ටෙරෙන්ගානු කණ්ඩායම - මැලේසියාව)
2 ඇස්ටෆියෙව් ස්ටෙෆාන් - පැය 2:44:36 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
3 යසුහරු නකජිමා - පැය 2:44:36 (කිනාන් පාපැදි කණ්ඩායම- ජපානය)
4 ඉර්වන්ඩි ලකසෙක් - පැය 2:44:36 (ටෙරෙන්ගානු කණ්ඩායම - මැලේසියාව)
5 සීන් වයිට්ෆීල්ඞ් - පැය 2:44:36 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
6 ජූසෙයොක් කිම් - පැය 2:44:36 (ගැපියොංග් පාපැදි කණ්ඩායම - කොරියාව)
7 කේන් රිචර්ඞ්ස් - පැය 2:44:36 (මැක්ඩොනල්ඞ් ඩවුන්අන්ඩර් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
8 එයිචි හිරායි - පැය 2:44:36 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
9 නඕයා යොෂිඕකා - පැය 2:44:36 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
10 ටට්සුකි අමගෝයි - පැය 2:44:36 (කිනාන් පාපැදි කණ්ඩායම - ජපානය)


සමස්ත තරග ප්‍රතිඵල
1 යසුහරු නකජිමා - පැය 7:45:03 (කිනාන් පාපැදි කණ්ඩායම- ජපානය)
2 ස්ටෙෆාන් ඇස්ටෆියෙව් - පැය 7:45:04 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
3 යොෂිමිට්සු හිරට්සුකා - පැය 7:45:19 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
4 ලෝගන් ග්‍රිෆින් - පැය 7:47:41 (සී.එන්.එන්. පාපැදි කණ්ඩායම - ලාඕසය)
5 නඕයා යොෂිඕකා - පැය 7:47:48 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
6 යෙව්ගෙනි නෙපොම්න්යචෙෂි - පැය 7:47:54 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
7 කැම්බල් ජෝන්ස් - පැය 7:47:55 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
8 ආර්මන් කමිෂෙව් - පැය 7:48:08 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
9 නිකලස් වයිට් - පැය 7:48:34 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
10 අමිරුල් මසුකි - පැය 7:48:39 (ටෙරෙන්ගානු කණ්ඩායම - මැලේසියාව)

 

 

ඉහළම දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා

 

 

ඡායාරූප - ශානුක අරවින්ද

තරගයේ විශේෂ අවස්ථා 


අදහස් (0)

නකජිමා ටී-කප් පාපැදි සවාරිය ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.