Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නටෝයාගෙන් තරුෂිට..
පැරිස් ඔලිම්පික් - 2024

නටෝයාගෙන් තරුෂිට..

editorial - 2024 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වූයේ ඇයයි. හේතුව, ඇය ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනා සිටි බැවිනි. එහෙත් ඉතාමත් අනපේක්‍ෂිත ලෙසින්, ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වූ තරුෂි දිල්සරා කරුණාරත්න තරග කළ 6 වැනි මූලික තරගයේ අන්තිමයා වූවාය. 

තරුෂිගේ තරග කාලය විනාඩි 2:07.76 වන විට 6 වැනි මූලික තරගය ජයගත් ජැමෙයිකාවේ නටෝයා ගවුලි ටොපින්ගේ තරග කාලය විනාඩි 1:58.66 ක් විය. දෙදෙනාගේ කාල පරතරය තත්ත්පර 9.10 කි. 

නටෝයා ගවුලි යනු, මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන, මීටර 800 ඉසව්වේ නම් දැරූ වැඩකාරියකි. මීටර 800 දී ඇයගේ හොඳම තරග කාලය විනාඩි 1:55.96 ක් වන අතර ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම් අතරේ මෙන්ම ලෝක ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් අතරේ හොඳම ක්‍රීඩිකාවන් 8 දෙනා අතර සිටින්නියකි. පෑන් ඇමරිකන් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහිකාවකි. 

කාන්තා මීටර 800 ඉසව්වේ, 6 වැනි මූලික තරගය නිමාවන විට නටෝයා ක්‍රීඩිකාවන් පිරිස අතරේ ඉදිරියෙන්ම සිටියද තරුෂි කරුණාරත්න සිටියේ නටෝයාට වඩා මීටර 20 ක් පමණ පසුපසිනි. එහෙත් තරුෂි අතර මග නතර නොවී තරගය හමාර කළාය. 

ඉසව්ව ජයගත් නටෝයා තමන් සමග තරග කළ සියලුම ක්‍රීඩිකාවන්ට අතට අත දෙමින් නැතහොත් ඔවුන් වැළඳ ගනිමින් ක්‍රීඩාශීලිත්වය බෙදාහදාගත් නමුත් තරුෂි සිටියේ නටෝයාට වඩා මීටර 10 ක් 12 ක් පසුපසිනි. තරුෂිවත් අමතක නොකළ නටෝයා, තරුෂි සිටි තැනට ගොස් ඇයගේ උරහිස් අල්ලා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව සැනසුවාය. 
අත්දැකීම් නම් මෙයයි. 

වචනයක්වත් කතාකරගත නොහැකි තරමට වෙහෙසට පත්වී සිටියද, ඒ අවස්ථාවේදී තරුෂිගේ සිතිවිලි මෙසේ වූයේ නම්....

“ස්තුතියි නටෝයා..., මාත් දවසක ඔයා වාගේම දිනනවා... දිනලා මට පිටිපස්සේ හිටපු සෑම ක්‍රීඩිකාවක් ළඟටම ගිහින් මේ වගේම ඔවුන්ට සැනසිලි වදනක් කියනවා...” 

තරුෂිගේ ජයග්‍රහණ මාලය ඇමිණෙන පුරුක එතැනය. 

“අපි ඔලිම්පික් යන්නේ දිනන්නම නෙමේ අත්දැකීම් ලබාගන්න” යයි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දශක තුන හතරක් තිස්සේ කියන සුලභ කතාවකි. ඔවුන්ගේ අත්දැකීම් ලබාගැනීම තරගාවලියත් සමගින් නිමාවට පත්වෙයි. ඔලිම්පික් නැතහොත් ආසියානු ක්‍රීඩා උළෙල වලදී ලබාගත් අත්දැකීම් කෙසේ වෙතත් 1998 දී ජපානයේ ෆුකෝකා නුවර පැවැති ආසියානු ශූරතාවලියේදී මීටර 400 වෙනුවෙන් සුගත් තිලකරත්නගේ තරග කාලය වූ තත්ත්පර 44.61 අදටත් එම ඉසව්වේදී ශ්‍රී ලාංකිකයකුගේ හොඳම දක්‍ෂතාවයි. 

වසර 26 ක් ගතවී ඇතත්, මීටර 400 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙසින් ඇත්තේ සුගත් තිලකරත්නගේ තත්ත්පර 44.61 යි. ආසියානු වාර්තාව (2015 දී සෞදි අරාබියේ යූසුෆ් අහමඞ් විසින් පිහිටුවන ලද්දකි) තත්ත්පර 43.93 කි. 

මීටර 400 ඉසව්ව වෙනුවෙන් ඉදිරිපත් වූ කිසියම් ක්‍රීඩකයකුට සුගත්ගේ වාර්තාව අභිබවා යාමට සැබෑ අවශ්‍යතාවක් වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදී එය කළ හැකිව තිබිණ. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වූයේ තමන් වෙනුවෙන් වෙනමම ඉලක්ක සකස්කර ගැනීමත් ඒ වෙනුවෙන් කැපවීමත් පමණි. 


(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය සහ මුහුණු පොත ඇසුරිනි)


අදහස් (0)

නටෝයාගෙන් තරුෂිට..

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.