Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැය පහමාරක් පුරා පැවැති අතිශය තියුණු තරගයකින් අනතුරුව සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙස මෙවර (2022) ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගත් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා බවට පත් විය.
මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම් 5 වැනි ස්ථානයේ පසුවන නඩාල් හමුවේ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස පරාජයට පත් වූයේ ලෝක ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන රුසියාවේ ඩැනිල් මර්ඩෙව්ය.
තමාට වඩා අවුරුදු 10 කින් බාල යෞවනයා හමුවේ පළමු වටය ලකුණු 6-2 ක් ලෙස පරාජයට පත්වූ තිස්පස් හැවිරිදි නඩාල්, දෙවැනි වටයේදී සිය ප්‍රතිවාදියාට තියුණු සටනක් දුන්නේය. කෙසේ වුවත් සම ලකුණු බිඳීමේ අදියරකින් අනතුරුව දෙවැනි වටයද ලකුණු 7-6 ක් ලෙස ජයගැනීමට මර්ඩෙව් සමත් විය.
වට 2 ක් පරාජයට පත්ව තිබියදී තමා සතු අත්දැකීම් සම්භාරය මනාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා දක්ෂ ලෙස යළිත් තරගයට අවතීර්ණ වූ නඩාල්, තෙවැනි සහ සිවුවැනි වට ලකුණු 6-4 ක් ලෙස ජයගනිමින් තරගය වට 2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.
දෙදෙනාටම තීර්ණාත්මක වූ අවසන් වටයද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ක්‍රීඩකයන් දෙදෙනා මාරුවෙන් මාරුවට ලකුණු රැස්කරන අයුරු දැකගත හැකි විය. කෙසේ වුවත් අවසානයේදී මර්ඩෙව්ට ඉන් ලකුණු 7-5 ක පරාජයක් උරුමකර දුන් නඩාල්, සමස්ත තරගයේ ජය වට 3-2 ක් ලෙස තමන් සතුකර ගත්තේය.
හයවැනි වරට ඕස්ට්‍රේලියානු විවෘත අවසන් මහ තරගයකට පිවිසි නඩාල් එහිදී ජය ලැබූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර ඔහු ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් දිනා තිබුණේ 2013 වසරේදීය. ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 2 ක් නඩාල්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21 ට අයත් වේ.
මෙම තරගාවලියට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින නඩාල්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියකු ලෙස ස්ර්බියාවේ නොවැක් ජොකොවික් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවිය. කෙසේ වුවත් මෙම ජයග්‍රහණයත් සමග ඔහුට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා වීමේ අයිතියට හිමිකම් කීමටද හැකි විය.
“කිසිම සැකයක් නැහැ, මෙය තමා මගේ ක්‍රීඩා ජීවිතය තුළ මා ලබපු හැඟීම්බරම ජයග්‍රහණය.” යැයි අළුයම 1.10 ට අවසන් වූ අවසන් මහ තරගයෙන් අනතුරුව පැවැති ජය සංඛේත ප්‍රදානෝත්සවයේදී නඩාල් කඳුළු සලමින් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.