Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නයෝමි ශූරතාව රැක ගැනීමේ සටනට

නයෝමි ශූරතාව රැක ගැනීමේ සටනට

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේදී (2020) පැවැති ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය ජයගැනීමට සමත් වුවද, මෙම වසරේදී (2021) දිගින් දිගටම අසාර්ථක වූ ජපානයේ ‍නයෝමි ඔසාකා, මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේදී සිය ශූරතාව රැක ගැනීමේ සටනට අවතීර්ණ වී සිටින්නීය.

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා නිව්යෝක් නුවරදී පැවැත්වෙයි.

ටෙනිස් ලෝක ‍ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන ඔසාකා, මෙවර තරගාවලියේ කාන්තා කේවල තරග සැකැස්මට අනුව දෙවැනි කොටස යටතේ තරග වදින්නීය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙර‍මුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි තරග සැකැස්මට අනුව පළමු කොටසේ තරග වැදීමට ‍ඔසාකාට යම් තරමක අස්වැසිල්ලක් වනු ඇත.

මුලික වටයේදී චෙක් ජන රජයේ මාරී බොස්කෝවාට එරෙහිව ඔසාකා තරග වැදීමට නියමිත අතර රුසියාවේ වේරා සෝනරේවාට එරෙහිව බාටි තරග බිමට පිවිසීමට නියමිතය. ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන බෙලරුසයේ ඇරිනා සෙබලෙන්කාද මෙවර තරගාවලියේදී වැඩි දෙනාගේ අවධානයට ලක්වී තිබේ.

2019 වසරේ සිය ලෝක ශ්‍රේණිගතකිරිම්හි පෙරමුණ රැක ගැනීමට සමත් වූ බාටි, 2019 වසරේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාවලිය සහ මෙම වසරේදී (2021) පැවැති විම්බල්ඩන් ශූරතාවලිය ජයගැනීමට සමත් වූවාය. 2020 ව‍සරේ පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටද සමත් වූ බාටි, මේ දක්වා සහභාගි වූ කිසිදු ඇමරිකානු විවෘත ශූරතාවලියකදී සිවුවැනි වටයෙන් ඉහළට පැමිණීමට සමත් වී නැත.

2018 වසරේදී පැවැති ඇමරිකානු විවෘත ශූරතාවලියේ අවසන් මහ තරගයේදී සෙරීනා විලියම්ස් පරාජයට කරමින් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කියූ ඔසාකා, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා දෙකකටද (2019 සහ 2021) හිමිකම් කීවාය. ඒ අනුව මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන ඔසාකා මෙවර තරගාවලියේදී සිය පස්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යෑමට සූදානමින් සිටින්නීය.

කෙසේ වුවත් ඇමරිකානු විවෘත ශූරතා 6 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කියන ඇමරිකා‍වේ සෙරීනා විලියම්ස් මෙවර තරගාවලියට සහභාග‍ි නොවීම බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ. ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛාවකට හිමිකම් කියන ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට් සමග සම වීම සඳහා තවත් එක් ශුරතාවක් පසුපසින් සිටින සෙරීනා, සිය මව් රටේදීම එම වාර්තාව සම කරනු ඇතැයි ඇගේ රසිකයෝ බලාපොරොත්තු වූහ.

මෙවර තරගාවලියේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර බෙදා දීමට නියමිත මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 57.5 ක් වන අතර ඉන් කාන්තා කේවල ශූරතාව දිනාගන්නා ක්‍රීඩිකාවට හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.5 කි. ඩොලර් මිලියන 1.5 ක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 30 ඉක්මවන්නකි.


-036

 


අදහස් (0)

නයෝමි ශූරතාව රැක ගැනීමේ සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.