Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව පීඩනය නොහඳුනති

නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව පීඩනය නොහඳුනති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පිළිවෙලින් 1, 2, 3 සහ 4 වැනි ස්ථාන හිමිවී තිබෙන්නේ  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් හතරටය. මෙම කණ්ඩායම් හතරම මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටීමෙන් මෙම ශ්‍රේණිගත කිරීම් වඩාත් සාධාරණ බව පෙනේ.

ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අපි‍්‍රකාව (113) ප‍්‍රසාද ලකුණු 5 කින් නවසීලන්තයට (108) වඩා ඉදිරියෙන් සිටී. එසේ වුවත් දෙපිල අතර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී හෙට (24 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ වැඩි වාසි කාටද යන්න කිසිවකු ප‍්‍රශ්න කළහොත් ඊට නිශ්චිත උත්තරයක් සොයාගැනීමට සෑහෙන වෙහෙසක් ගත යුතුය.

මාස හය හතකට ඉහතදී නම් ඊට පහසුවෙන් උත්තර දිය හැකිව තිබිණ. එහෙත් දැන් ඒ ප‍්‍රශ්නයට උත්තර සෙවීම පහසු නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ රිද්මය වෙනස් වන්නේ එතරම් වේගයකිනි.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේදී බැවින් වැඩි වාසි නවසීලන්තයට යයි කිසිවකුට තර්ක කළහොත් එය බැහැර කළ නොහැකිය. එහෙත් වසර 23 කට පසුව උදාවූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගෙන එය අපතේ යැවීමට තරම් දකුණු අපි‍්‍රකානුවන් අනුවණ නැතැයි තවත් අයකු තර්කයක් ඉදිරිපත් කළහොත් එයද ප‍්‍රතික්ෂේප කළ නොහැකිය.

කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය තවමත් අපරාජිත කණ්ඩායමකි. මූලික වටයේ සියලූම තරග ජයගත් නවසීලන්ත පිල අර්ධ අවසන් පූර්ව වටයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 143 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහෙත් දකුණු අපි‍්‍රකානුවන්ට එවන් වාර්තාවක් හිමි නැත. දකුණු අපි‍්‍රකානුවෝ මූලික වටයේදීම ඉන්දියාවට සහ පාකිස්තානයට පරාජය වූහ.

ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේ පන්දු යවන්නන් වන නමුත් දකුණු අපි‍්‍රකානුවන් බොහෝ දුරට රැඳුනේ හසිම් අම්ලා සහ ඒ. බී. ඩිවිලියර්ස්ගේ දෙදෙනාගේ පිතිහරඹය මතය.

නවසීලන්තය එසේ නොවේ. එක එක තරගයේදී ඔවුන්ට එක එක ආකාරයේ වීරයෝ සිටියහ. බ්‍රෙන්ඩන් මැකලම්, කෝරි ඇන්ඩසන්, ටිම් සවුති, කේන් විලියම්සන්, ඩැනියෙල් විටෝරි මෙන්ම මාටින් ගප්ටිල්ද නවසීලන්ත පිලට ජයග‍්‍රහණයේ මාවත් විවර කරදීම සඳහා වරින් වර විවිධ ආකාරයෙන් දායක වූහ.

ඇඩම් මිල්න්ගේ විලූඹේ ආබාධය නිසා ඔහුට තරගාවලියේ ඉතිරි කොටස අහිමි වී තිබේ. මිල්න්ගේ ස්ථානයට මැතිව් හෙන්රි ආදේශ කිරීමට නවසීලන්ත පිල බලා සිටියද ඒ සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

නවසීලන්තය මෙන්ම දකුණු අපි‍්‍රකාව සිටින්නේත් පීඩනය යනු කුමක්ද යන්න කියාවත් නොදන්නා නියාවෙනි. තරගාවලිය පුරාම නවසීලන්තය විශිෂ්ට දස්කම් දැක්වූ නමුත් නවසීලන්තය පළමු වටයේදී දැක්වූ දස්කම් පිළිබඳව හිතන්නටවත් ඩිවිලියර්ට උවමනාවක් නැත.

”ඒ ගොල්ලන් පසුගිය දවස් වල සෙල්ලම් කරපු විදිහ ගැන හිත කරදර කරගන්න එක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද ඔවුන් ඉතාමත් හොඳින් සෙල්ලම් කළා. ඒ විතරක් නෙමේ. මම වුණත් පුද්ගලිකව කැමති නෑ විරුද්ධ පිලේ වැඩ ගැන ඕනෑවට වඩා හොයන්න”

”වැදගත් වෙන්නේ අපේ හැකියාවන් අනුව අපි ක‍්‍රීඩා කරන එකයි. එහෙම කී‍්‍රඩා කරනවා නම්, මේ තරගාවලියේදී අපව නවත්වන්න කාටවත් බෑ. ඒ නිසා මගේ වගකීම වෙන්නේ මගේ කී‍්‍රඩකයන්ගේ විශ්වාසනීයත්වය වැඩිකරමින් ඔවුන්ව සැහැල්ලූවෙන් තබමින්, මානසිකව වගේම ශාරීරිකව මේ තරගයට සූදානම් කිරීමයි”යයි දකුණු අපි‍්‍රකානු නායකයා පැවසීය.

හත් වතාවක් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් නමුත් මෙම තරගය නම් නවසීලන්ත කී‍්‍රඩකයන්ගේ හිසකේ කෙළින් සිටුවන තරගයකි. තරගයට පෙර චකිතයෙන් සිටින්නේද යන්න කළ විමසීමකදී නවසීලන්ත නායකයා කියා සිටියේ මෙවන් කතාවකි.

”සමහර අය නම් චකිතයට පත්වෙලා කියනවා. ඒත් කණ්ඩායමේ තියෙන සාමාන්‍ය හැගීම නම් මේ තරගය එනකම් අපේ අය මගබලා ඉන්නවා කියන එකයි. ඔවුන්ගේ නියම දස්කම් පෙන්වන්න, දකුණු අපි‍්‍රකාව වගේ කණ්ඩායමක් එක්ක තමන්ගේ දස්කම් උරගා බලන්න, ඔවුන් නොයිවසිල්ලෙන් ඉන්නවා” යයිද බ්‍රෙන්ඩන් මැකලම් පැවසීය.

”කොහොම වුණත් මේක තීරණාත්මක තරගයක්. අන්තිමට පැවැති තරගයේදී අපි පීඩනය හසුරුවාගත් ආකාරයත් අපි සෙල්ලම් කරපු විදිහත් බලනකොට මේ වතාවෙදිත් අපට ඒ දේ කරගන්න පුළුවන්” යයිද මැකලම් වැඩිදුරටත් පැවසීය.
 
තරගාවලියේ මෙතෙක් පැවැති තරග දෙස ආපසු හැරී බැලීමේදී  ඕක්ලන්ඞ්හි ඊඞ්න් පාක් කී‍්‍රඩාංගණයේ තණතීරුව වෙනදාට වඩා පිතිකරුවන්ට තරමක් යෝග්‍ය තණතීරුවක් යයි බලාපොරොත්තු තබාගත හැකිය.

ලෝක කුසලාන තරග ඉතිහාසයේදී දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය තරග 6 ක් කී‍්‍රඩා කර ඇති අතර ඒවායින් නවසීලන්තය තරග 4 ක්ද දකුණු අපි‍්‍රකාව තරග 2 ක්ද ජයගෙන තිබේ. එහෙත් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත තරග වාර්තාව දෙස බැලීමේදී නවසීලන්ත පිල සහභාගි වූ තරග වලින් 60% ක ප‍්‍රතිශතයක් ජයගෙන ඇති අතර දකුණු අපි‍්‍රකාවේ ලෝක කුසලාන තරග ජයග‍්‍රහණ ප‍්‍රතිශතය 65 % කි.


නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), කෝරි ඇන්ඩසන්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ග‍්‍රාන්ට් එළියට්, මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, නේතන් මැකලම්, කයිල් මිල්ස්, ලූක් රොන්කි, ටිම් සවුති, රොස් ටේලර්, ඩැනියෙල් විටෝරි, කේන් විලියම්සන් සහ මැතිව් හෙන්රි,

දකුණු අපි‍්‍රකානු සංචිතය
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හසිම් අම්ලා, කයිල් ඇබට්, ක්වින්ටින් ඩි කොක්, ජේ. පී. ඩුමිනි, ෆෆ් ඩු ප්ලෙසි, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, මෝර්නි මෝකල්, රිලී රොසව්, ඬේල් ස්ටේන්, වර්නන් ෆිලැන්ඩර්, ෆර්හාන් බෙහාර්ඞීන්, වේන් පානෙල් සහ ඒරන් පැන්ගිසෝ


අදහස් (0)

නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව පීඩනය නොහඳුනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.