Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැමිල්ටන් නුවර සෙඩෑන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදීත් ලකුණු 113 ක පරාජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලු කර දැමූ නවසීලන්ත ක්‍රීඩකයෝ, එක්දින තරගාවලියේදී 2-0 ක් ලෙසින් ජයග්‍රහණය අත්කරගෙන සිටිති.
තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 11 වැනිදා ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වීමට නියමිතය.
වර්ෂාවෙන් බාධා ඇතිවූ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 255 ක් ලබාගත්තේය. නවසීලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය (6.89) ඕවරයකදී ලකුණු 7 ක් ආසන්නයේ තිබිණ.
ඕවර 37 කින් ලකුණු 256 ක ඉලක්කයක් කරා යා යුතු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිහරඹය එකතැන කඩාවැටිණ. පළමු ඕවර 5 නිමාවන්නටත් පෙරම ලකුණු 22 කට කඩුලු 4 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය බොහෝ ඈතින් විය. ඔව්හු ඕවර 30.2 ක් අවසානයේදී ලකුණු 142 කට දැවී ගියහ.
තරගය ආරම්භ වීමට පෙර පැවැති වර්ෂාව නිසා පැය දෙක හමාරක තරග කාලයක් අපතේ ගිය බැවින් එක ඉනිමක් ඕවර 37 කට සීමා කෙරිණ. කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේය.
ලකුණු 168 දී රචින් රවීන්ද්‍ර දැවී යන විට කඩුලු 7 ක් අතැතිව සිටි නවසීලන්ත පිතිකරුවන්ට ඉතිරිව තිබුණේ ඕවර 17 ක් පමණි. රචින් රවීන්ද්‍ර (79) සහ මාක් චැප්මන් (62) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 112 ක සම්බන්ධතාව මත සිටගත් නවසීලන්ත මැද පෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන්හ.
සිය අවසන් ඕවර දෙකේදී මහීෂ් තීක්ෂණ කඩුලු ත්‍රිත්වයක් දවාගත් නමුත් මහීෂ් සහ වනිඳු හසරංග ඇරෙන්නට සෙසු සියලුම ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ දරුණු ප්‍රහාරයකට ලක්වූහ. කෙසේ වෙතත් එක්දින අන්තර්ජාතික තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් හත්වැනි ශ්‍රී ලාංකිකයා වන මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් විශ්වාසනීයත්වයක් එන්නත් කළද ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 5 ඇතුළත සියලු අපේක්ෂා බිඳ වැටිණ.
කමිඳු මෙන්ඩිස් (64) සහ ජනිත් ලියනගේ (22) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් තුන්වැනි විනිසුරුවරයා විමසීමේදී වුවද ජනිත් ලියනගේට පිහිටක් නොලැබිණ. ලියනගේ දැවී යාමෙන් පසුව ඉතිරිව තිබූ ඕවර 21 න් ලකුණු 177 ක් අවශ්‍යව තිබුණත් ශ්‍රී ලංකාවේ සීමිත ඕවර කණ්ඩායම දෙකම මේ වන විට මුහුණ දී සිටින පසුපෙළ ප්‍රහාරකයන් නොමැතිවීමේ අර්බුදය, පරාජයට තදින්ම බලපෑවේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.