Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය කඩුල්ලකින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

නවසීලන්තය කඩුල්ලකින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර අද (28 වැනිදා)  ඕක්ලන්ඞ්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය.
 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිල, ඕවර 23.1 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළේය.

මැකලම්ගේ ඉනිම නිමා කිරීමට පැට් කමින්ස් සමත් වීමත් සමගම රොස් ටේලර් එක් ලකුණකටත්, ග‍්‍රාන්ට් එලියට් ලකුණු ලබාගැනීමට පෙරත් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් විය.

ලකුණු 79 කට නවසීලන්ත කඩුලූ 4 ක් දැවී තිබියදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කේන් විලියම්සන් (නොදැවී 45) සහ කෝරි ඇන්ඩසන් (26) සමත් වූහ.

ඇන්ඩසන්ගේ දැවී යෑමෙන් අනතුරුව නැවතත් කි‍්‍රයාත්මක වූ මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස්, ලකුණු 15 ක් තුළ නවසීලන්ත පිලේ තවත් පිතිකරුවන් සිව්දෙනෙක් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූහ.

කෙසේ වුවත් තරගය අවසන් වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් කේන් විලියම්සන්, අවසන් පිතිකරු ටෙ‍්‍රන්ට් බෝල්ට් සමග එක්ව නවසීලන්ත පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. නවසීලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ මිචෙල් ස්ටාර්ක්,  ඕවර 9 ක් යවමින් ලකුණු 28 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු පිලට  ඕවර 32.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 151 ක් ලබාගත්තේය.    ඕස්ටේ‍්‍රලියානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ බ‍්‍රැඞ් හැඞ්න් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

ඬේවිඞ් වෝනර් (34) සහ ෂේන් වොට්සන් (23) එක්ව  ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රන්ට් බෝල්ට්  ඕවර 10 ක් යවා ලකුණු 27 කට කඩුලූ 5 ක් දවාගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල අසරණ තත්ත්වයකට ඇද දැමුවේය. ඕස්ටේ‍්‍රලියානු පිලේ පිතිකරුවන් 5 දෙනෙකු සහ නවසීලන්ත පිලේ පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාමද මෙම තරගයේදී කැපීපෙනෙන සිදුවීමක් විය.


ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 151
(ඒරන් ෆින්ච් 14, ඬේවිඞ් වෝනර් 34, ෂේන් වොට්සන් 23, බ‍්‍රැඞ් හැඞ්න් 43, ටෙ‍්‍රන්ට් බෝල්ට් 27/5, ඩැනියෙල් විටෝරි 41/2, ටිම් සවුති 65/2)

නවසීලන්තය -  ඕවර 23.1 කදී කඩුලූ 9 ක් දැවී 152
(බ්‍රෙන්ඩන් මැකලම් 50, කේන් විලියම්සන් නොදැවී 45, කෝරි ඇන්ඩසන් 26)

 


- 036

 

තරගයේ උණුසුම් අවස්ථා...

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

නවසීලන්තය කඩුල්ලකින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.