Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට කඩුලු 9 ක ජයක්
පළමු එක්දින තරගය

නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

editorial - 2025 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 178 කට කැටි කරගත් නවසීලන්ත ක්‍රීඩකයෝ වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවති පළමු එක්දින තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්හ. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී. 

පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යා ලබාගත්තේ පිතිකරුවන් සිව් දෙනකු පමණි. වේග පන්දු යවන්නන් වූ මැතිව් හෙන්රි (19/4), ජේකබ් ඩෆී (39/2) සහ නේතන් ස්මිත් (43/2) එක්ව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගමන ලකුණු 178 න් නතර කළහ.
 
ඕවර 26.2 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 180 ක් ලබාගත් නවසීලන්තය තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්තේය. තරගය අවසන් වන විට ආරම්භක පිතිකරු විලියම් යංග්, පන්දු 86 කින් ලකුණු 90 ලබා සිටියේ හතරේ පහර 12 කින් සිය ඉනිම අලංකාර කරමිනි. 

වෙලිංටන් අහස වළාකුළින් බරව තිබියදී කාසියේ වාසිය දිනාගත් මිචෙල් සෑන්ට්නර් පැකිළීමකින් තොරවම ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට යැවීය. සීතල එන්න එන්නම වැඩිවෙමින් තිබියදී ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් ලකුණු 23 කට බිඳ වැටී තිබිණ. අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් පන්දු 7 ක් ඇතුළත දෙදෙනාම දැවී ගියහ. 

චමිඳු වික්‍රමසිංහ (22) සහ වනිඳු හසරංග (35) අතර සම්බන්ධතාව ලකුණු 48 ක් දක්වා දිගහැරුණු අතර වනිඳු දැවී යාමට පෙර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7 ට 175 ක් ලෙසිනි. එහෙත් මැතිව් හෙන්රි සහ ජේකබ් ඩෆී එක්ව ඉතිරි ඕවර 4 ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමා කළහ. 

තරගයේ තාලය වෙනස් කරන ලද්දේ මැතිව් හෙන්රි විසිනි. 

පළමු ඕවර 10 න් 5 ක්ම යැවූ හෙන්රි පන්දුව මනාව දෝලනය කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළේය. හෙන්රිගේ මුල් ඕවර 5 නිමාවන විට ඔහුගේ පන්දු යැවීම 5-1-06-1 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ලකුණු 24 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ හොඳම පිතිකරුවන් සිව්දෙනා ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණේ එතැනිනි. 

නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ප්‍රදර්ශනාත්මක මට්ටමක පැවතිණ. මිචෙල් සෑන්ට්නර් උඩපන්දු තුනක්ම රැකගත්තා මදිවාට, අති විශිෂ්ට පන්දු විසිකිරීමකින් කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමත් අවසන් කළේය. ‘පොයින්ට්’ කලාපයේ සිටි මාක් චැප්මන්ගෙන් පිතිකරුවන්ට කිසිම බුරුළක් නොලැබුණු හෙයින් පිතිකරුවන් වෙත තිබූ පීඩනය එන්න එන්නම වැඩිවිය. ප්‍රතිඵලය වූයේ පිතිකරුවන් වඩ වඩාත් අසරණ වීමයි. 

එක්දින තරග 48 ක් ක්‍රීඩා කර ඇති නමුත් අවිශ්ක ප්‍රනාන්දු තවමත් ලබා ඇත්තේ අර්ධ ශතක 9 ක් පමණි. 

කෙසේ වෙතත් ඉලක්කය කරා යාමේදී නවසීලන්ත පිතිකරුවෝ වඩාත් පහසු ගමනක නිරත වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් යැවූ ඕවර 26 දී හතරේ පහර 21 ක් සහ හයේ පහරකින් ඔවුනට සංග්‍රහ ලැබිණ. 

තරගාවලියේ දෙවැනි එක්දින තරගය ලබන බදාදා (8 වැනිදා) හැමිල්ටන් නුවරදී පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.