Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 05 තියුණු ජයක්
2 වැනි විස්සයි-20 තරගය

නවසීලන්තයට ලකුණු 05 තියුණු ජයක්

editorial - 2024 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

පිතිකරුවන්ට සුසාන භූමියක් බඳු තණතීරුවකදී ශ්‍රී ලංකාවේ ගමන ලකුණු 103 කින් නතර කරගත් නවසීලන්ත ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 05 ක තියුණු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගැනීමටද සංචාරකයෝ සමත් වූහ. 

සෙනසුරාදා (9 වැනිදා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කින් ජයගත්තේය. 

අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොකී ෆර්ගසන් (07/3), අවසන් ඕවරය යැවූ ග්ලෙන් පිලිප්ස් (06/3) සහ දවාගැනීම් 6 කට සම්මාදම් වෙමින් ලෝක වාර්තාවක් පිහිටවූ කඩුලු රකින ක්‍රීඩක මිචෙල් හේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අගාධයට තල්ලු කළහ. 

විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී කඩුලු රකින්නකු සම්මාදම් වූ වැඩිම දවාගැනීම් සංඛ්‍යාව වූයේ 5 කි. එහෙත් අද රාත්‍රියේදී උඩපන්දු 5 ක් රැකගත් මිචෙල් හේ, මතීෂ පතිරණව ස්ටම්ප් කිරීමකටත් හසුකරගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය. 

තණතීරුව බෙහෙවින් මන්දගාමී තත්ත්වයක පැවැති අතර ලකුණු ලබාගැනීම දෙපිලටම අසීරු අභියෝගයක් විය. තණතීරුවේ තත්ත්වය හොඳින්ම දැන සිටි ශ්‍රී ලාංකික පිතිකරුවන් හීන්සිරුවේ ජයග්‍රහණය සොයා යද්දී ලොකී ෆර්ගසන් පිට පිටම යැවූ පන්දු 3 කින් ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව කඩුලු 1 කට 24 සිට කඩුලු 3 ට 34 ක් ලෙසින් වෙනස් කළේය. ෆර්ගසන් (ඕවර 2 කදී) පිට පිටම යැවූ පන්දු තුනකින් කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක දැවී ගියහ. 

එතැනින් පහළට ඇද වැටුණු ලකුණු වේගය වැඩි කිරීමට ශ්‍රී ලාංකික පිතිකරුවන් බලවත් උත්සාහයක් ගත් නමුත් නවසීලන්ත පන්දු යවන්නෝ එන්න එන්නම පීඩනය වැඩි කළහ. තරගය ජයගැනීමට නම් අවසන් ඕවර දෙකේදී ශ්‍රී ලංකාවට ලකුණු 16 ක් අවශ්‍යව තිබිණ. එහෙත් අවසන් ඕවර දෙකේදී ලකුණු ලබාගැනීම් සටෙහන් වූයේ 8 ක් සහ 02 ක් වශයෙනි. 
ඉනිම පුරාම පන්දුවට පහර දෙමින් ලකුණු 52 ක් ලබාගත් පැතුම් නිස්සංක, අවසන් ඕවරයේදී හයේ පහරක් ගැසීමට ගත් උත්සාහයේදී දැවී ගියේය. එයින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය පන්දු 4 කින් ලකුණු 07 ක් වුවද, අවසන් ඕවරය යැවූ ග්ලෙන් පිලිප්ස් පන්දු 4 ක් ඇතුළත කඩුලු 3 ක් දවාගනිමින් නවසීලන්ත ජයග්‍රහණය තහවුරු කළේය. 

ඉනිම පුරාම වැරදි පහර තෝරාගත් නවසීලන්ත පිතිකරුවන් පන්දුවට පහර දුන්නේ නැතිවූ යමක් සොයමින් අඳුරේ අතපත ගාන්නවුන් මෙනි. තරගයේ 20 වැනි ඕවරයේදී ඔව්හු ලකුණු 108 කට දැවී ගියහ. 

නුවන් තුෂාර යැවූ තරගයේ මුල්ම පන්දුවේදී ටිම් රොබින්සන් දැවීගිය අතර නුවන් තුෂාරගේ ඊළඟ ඕවරයේදී මාක් චැප්මන් ලකුණු 06 කට දැවී ගියේය. දුනිත් වෙල්ලාලගේගේ ඕවර දෙකකින් ලකුණු 5 ක් ලබාගැනීමට විල් යං සහ ග්ලෙන් පිලිප්ස් සමත් වූ නමුත් වනිඳු හසරංග පන්දුව අතට ගැනීමත් සමගින් තරගයේ තාලය වෙනස් විය. 

දකුණත් පා දඟ පන්දු යවන්නකුගේ ගුග්ලි පන්දුව කියවා ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ කිසිසේත්ම නොදැන සිටියහ. වනිඳු විසින් යවනු ලබන ‘ගුග්ලි’ පන්දුවත් සම්මත ‘පා දඟ පන්දුවත්’ අතරේ එහා මෙහා වීම නවසීලන්ත පිතිකරුවන්ට වැල් පාලමක ගමන් කරන්නක් මෙන් විය. 

වනිඳුගේ ගුග්ලි පන්දුවකට ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගැසීමට ගිය ග්ලෙන් පිලිප්ස් මුලින්ම වනිඳු හමුවේ කඩුල්ල අහිමි කරගත්තේය. පන්දු 31 කට මුහුණ දෙමින් නවසීලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ විල් යංග් දැවී ගියේත් වනිඳුගේම ගුග්ලි පන්දුවකට ස්වීප් කිරීමට යාමෙනි. 

17 වැනි ඕවරයේදී පන්දුව අතට ගත් මතීෂ පතිරණ, ඕවර දෙකක් ඇතුළත තවත් කඩුලු 3 ක් දවාගනිමින් නවසීලන්තය අසරණ කර දැම්මේය. 

නවසීලන්ත ඉනිම පුරාම තිබුණේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමත් ඊට දෙවැනි නොවීය. ශ්‍රී ලංකා ඉනිම පුරාම තිබුණේ හතරේ පහර  8 ක් පමණි. ඒවායින් 6 ක් පැතුම් නිස්සංක ගැසූ ඒවා විය. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වෙයි. 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 05 තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.