Last Update  :  2025-02-21 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 60 ක පහසු ජයක්
ශූරයන්ගේ කුසලාන

නවසීලන්තයට ලකුණු 60 ක පහසු ජයක්

editorial - 2025 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානයේ කරච්චි නුවරදී අද (19 වැනිදා) පැවැති එක්දින තරගයේදී පාකිස්තානු පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ තරගයෙන් ලකුණු 60 ක පහසු ජයක් අත්කර ගත්හ. නවසීලන්තය නියමිත ඕවර 50 නිමවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබාගත්හ. පාකිස්තානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 260 කි. 

නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු විලියම් යංග් (107) සහ මැද පෙළ පිතිකරු ටොම් ලෙතම් (නොදැවී 115) ශතක ලබාගත් අතර අවසන් ඕවර 10 දී නවසීලන්ත පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 113 කි. 

ලකුණු 321 ක් හඹා යාම ආරම්භයේදීම පාකිස්තානුවෝ අසරණ වූහ. ලකුණු 69 කට කඩුලු තුනක් බිඳ වැටුණු අතර නවසීලන්ත පන්දු යවන්නන්ට තරමක් හෝ හිසරදයක් වූයේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසි බාබර් අසාම් පමණි. බාබර් පන්දු 90 කින් ලකුණු 64 ක් ලබාගත් නමුත් තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට බාබර්ගේ ඉනිම කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය. 

ඕවර 7.2 ක් යැවූ මැතිව් හෙන්රි ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගනිද්දී විලියම් ඕරූක් (47/3) පාකිස්තානු ඉනිම විනාශ කළේය. මේ දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 200 කට කඩුලු 7 ක් අහිමි කරගත් සත්කාරකයෝ තරගයේ බලාපොරොත්තු අතහැර දැමූහ. 

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහි ප්‍රතිඵල ඉක්මනින් ලබාගත් නායක මොහොමඩ් රිස්වාන් පන්දු 5 ක් ඇතුළත ඩෙවොන් කොන්වේ සහ කේන් විලියම්සන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවීය. එහෙත් ඩැරිල් මිචෙල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ටොම් ලෙතම් සහ ආරම්භක පිතිකරුවා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

පන්දු 107 කින් ශතකය සම්පූර්ණ කළ විලියම් යංග්, හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළද නසීම් ෂාගේ වේගය අඩාළ කළ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඩීප් ස්ක්වෙයාර් ලෙග් සිට දිව ඇවිත්, හතරේ සීමාව පෙනි පෙනී තිබියදී පිටියේ ලිස්සාගිය අතිරේක ක්‍රීඩක ෆාහිම් අශ්රෆ් විසින් අති විශිෂ්ට ආකාරයෙන් උඩපන්දව රැකගන්නා ලදි. 

එතැනින් ගමන නතර නොකළ ටොම් ලෙතම් සහ ග්ලෙන් පිලිප්ස් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 125 ක් එකතු කළහ. පන්දු 95 කින් සිය ශතකය සම්පූර්ණ කළ වමත් පිතිකරුවා ඉනිම අවසන් වන තුරුම තම කඩුල්ල රැකගත් නමුත් ග්ලෙන් පිලිප්ස් දැවී ගියේ ඉනිමේ නිමාව පෙනි පෙනී තිබියදී ගැසූ ස්කූප් පහරකිනි. 

40 වැනි ඕවරය නිමා වන විට කඩුලු 3 කට ලකුණු 207 ක් වශයෙන් කියැවුණු ලකුණු පුවරුව 45 වැනි ඕවරය නිමාවේදී කඩුලු 4 ට 256 ක් ලෙසින්ද, ඕවර 50 නිමාවේදී කඩුලු 5 ට 320 ක් ලෙසින් ද සටහන් කළේය. 

පාකිස්තානයේ හොඳම වේග පන්දු යවන්නා වන ශහීන් ෂා අෆ්රීඩි ඕවර 10 කින් ලකුණු 68 ක් තිළිණ කළ නමුත් කඩුලු දවාගත නොහැකි විය. නසීම් ෂා (63/2) සහ හාරිස් රවුෆ් (83/2) කඩුලු හතරක් බෙදාගත් නමුත් දෙදෙනාම දැඩි ප්‍රහාරයකට ලක්විය. 

නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 5 ට 320 යි
(විල් යංග් 107, ඩෙවොන් කොන්වේ 10, ඩැරිල් මිචෙල් 10, ටොම් ලෙතම් නොදැවී 118, ග්ලෙන් පිලිප්ස් 61, නසීම් ෂා 63/2, හාරිස් රවුෆ් 83/2)

පාකිස්තානය - ඕවර 47.2 කදී 260 යි
(බාබර් අසාම් 64, ෆකර් සමාන් 24, සල්මන් අඝා 42, කුෂ්දිල් ෂා 69, ශහීන් ෂා අෆ්රීඩි 14, නසීම් ෂා 13, හාරිස් රවුෆ් 19, මැතිව් හෙන්රි 25/2, විලියම් ඕ’රූක් 47/3, මිචෙල් සෑන්ට්නර් 66/3)

- 213

විලියම් යංග්... 


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 60 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.