Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 86 ක ජයක්

නවසීලන්තයට ලකුණු 86 ක ජයක්

editorial - 2023 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළ ඉෂ් සෝධි (39/6) වසර 15 කට ආසන්න කාලයකට පසුව බංග්ලාදේශයේදී ලබාගත් පළමු එක්දින ජයග්‍රහණය කරා නවසීලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. බංග්ලාදේශයේ මීර්පූර් නුවරදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 86 ක ජයක් ලබාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. 

පළමු තරගය වර්ෂාවට හසුවීමෙන් විසඳුමකින් තොරව නිමා විය. 

ලකුණු 255 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 41.1 කදී ලකුණු 168 කට දැවී ගියේය. 

නවසීලන්තය විසින් අවසන් වරට බංග්ලාදේශයේදී එක්දින ජයක් අත්කර ගත්තේ 2008 ඔක්තෝබර් මාසයේදීය. එතැන් සිට වසර 2010 සහ වසර 2013 එක්දින තරගාවලි දෙකම පිළිවෙලින් 4-0 ක් සහ 3-0 ක් ලෙසින් නවසීලන්තය පරාජය විය. 

පිතිකරුවකු ලෙසින් ද සිය වගකීම ඉටුකළ ඉෂ් සෝධි නවසීලන්තය වෙනුවෙන් අගනා ලකුණු 35 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය. 

ආරම්භක පන්දු යවන්නා වූ කයිල් ජැමීසන් විසින් ලිටන් දාස් පිටියෙන් ඉවත් කරන ලදි. එතැන් සිට වැඩ ඇල්ලූ පා දඟ පන්දු යවන්නා වන සෝධි, බංග්ලාදේශයේ ප්‍රබලතම පිතිකරුවන් වන ටැන්සිඩ් හසන් (16), සෞම්‍යා සාර්කර් (0) සහ තව්හීද් රිදෝයි (4) දවාගත්තේය. ටමීම් ඉක්බාල් පන්දු 58 කින් ලකුණු 44 ක් ලබා සිය කණ්ඩායම ගලවා ගැනීමට උත්සාහ කළ නමුත් ඔහුද අවසානයේදී සෝධිටම ගොදුරු වූයෙන් ලකුණු 92 දී පස්වැනි කඩුල්ලත් බිම වැටිණ. 

ෆින් ඇලන් විසින් නසුම් අහමඩ්ගේ උඩපන්දුව අත නොහැරියා නම්, සෝධිට 7 වැනි කඩුල්ලත් ලබාගත හැකිව තිබිණ. 

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිලේ තාවකාලික නායක ලොකී ෆර්ගසන් (13) පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ද එයින් වැඩිප්‍රතිඵලයක් ලබාගත නොහැකි විය. තරගයේ 8 වැනි ඕවරයේදීම තුන්වැනි කඩුල්ලත් බිඳී ගියේ තව්හීද් රෝයිගේ උඩපන්දුවක් හේතුවෙන් කෝඩුකාර කාලිඩ් අහමඩ්ට මංගල එක්දින කඩුල්ල පිරිනැමීමෙනි. 

කාලිඩ් අහමඩ් (60/3) සහ මෙහෙදි හසන් (45/3) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 254 කට දැවී ගියේය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට හෙන්රි නිකොල්ස් (49) සහ ටොම් බ්ලන්ඩ්ල් (68) සමත් වූ නමුත් ඕවර 50 නිමාවීමට මත්තෙන් නවසීලන්ත පිලේ ඉනිම අවසන් විය. 

හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ද සමගින් පන්දු 66 කදී ලකුණු 68 ක් ලබාගත් බ්ලන්ඩ්ල් නවසීලන්ත ඉනිම පිළිසකර කිරීමට දැඩි උත්සාහයක් දැරීය. ඉෂ් සෝධි ලකුණු 17 ක් ලබා සිටියදී පන්දු යවමින් සිටි හසන් මහමුද් විසින් පන්දු යවන්නාගේ අන්තයේදී ‘මන්කාඩ්’ ක්‍රමයෙන් දුවද්දී දවාගත් නමුත් බංග්ලාදේශ නායක ලිටන් දාස් එම දවාගැනීම ඉල්ලා අස්කර ගත්තේය. 

බ්ලන්ඩ්ල් ලකුණු 166 දී දැවී ගියත්, ඉෂ් සෝධි (35), කෝල් මැකොන්චි (20) සහ කයිල් ජැමීසන් (20) එක්ව නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

නවසීලන්තය - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 254 යි
(ෆින් ඇලන් 12, චැඩ් බෝව්ස් 14, හෙන්රි නිකොල්ස් 49, ටොම් බ්ලන්ඩ්ල් 68, රචින් රවීන්ද්‍ර 10, කෝල් මැකොන්චි 20, ඉෂ් සෝධි 35, කයිල් ජැමීසන් 20, ලොකී ෆර්ගසන් 13, මුස්ටෆිසුර් රහමන් 53/2, කාලිඩ් අහමඩ් 60/3, මෙහෙදි හසන් 45/3)

බංග්ලාදේශය - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 168 යි
(ටමීම් ඉක්බාල් 44, ටැන්සිඩ් හසන් 16, මහමදුල්ලා 49, මෙහෙදි හසන් 17, නසුම් අහමඩ් 21, කයිල් ජැමීසන් 32/2, ඉෂ් සෝධි 39/6)

කාලිඩ් අහමඩ්...

 

මෙහෙදි හසන්...

 

හෙන්රි නිකොල්ස්...

- 213


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 86 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.