Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනාවැකි පළ කිරිමට තරමක් දුෂ්කර පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ දැඩි සටනකින් පසුව ලකුණු 36-28 ක ජයක් අත්කර ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය. අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන මේ තරගාවලියේ නාවික හමුදා පිල සහ පොලිස් පිල අතර පළමු අර්ධ අවසන් පුර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැත්විණ.
පසුගියදා නිමාවට පත්වූ ලීග් තරගාවලියේ අනුශූරයන් වූ නැවියන් වැඩි විශ්වාසයකින් යුතුව මේ තරගයට එක්වූවත් තරගයේ දෙවැනි භාගය ආරම්භයේදී පොලිස් පිල ලකුණු 21-17 කින් පෙරමුණ ගැනීමත් සමග නැවියන්ගේ කළබලය වැඩි විය. කෙසේ වෙතත් පසුව පිට පිට උත්සාහක දිනුම් දෙකක් තබමින් නැවත පෙරමුණ ගැනීමට නැවියෝ සමත්වූහ.
නාවික හමුදා පිල ලකුණු 29-21 කින් ඉහළට ඔසවා තබනු ලැබුවේ ඔවුන්ගේ ලොකුම ගැලවුම්කාරයා වන ෆුල්බෑක් ක්‍රීඩක තිළිණ විරසිංහ විසිනි. කසුන් ද සිල්වා තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ලකුණු 24-21කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගිය තිළිණ අනතුරුව අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ලීග් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියා සහ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිළිණ වීරසිංහ ඊයේ තරගයේදී නැවියන් ලද ලකුණු 36 න් 16කම පංගුකාරයා විය.
නැවියන් එසේ පිට පිට ලැබූ උත්සාහක දිනුම් දෙකකින් පසුව පොලිස් පිල පසුබෑමකට ලක්විය. තරගය නිමාවීමට මොහොතකට පෙර කවීන්ද්‍ර ජයසුන්දර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට සංදේශ් ජයවික්‍රම සමත්වීමෙන් පසුව නැවියන් ඉදිරියෙන් සිටියේ 29-28 ක් ලෙස එක් ලකුණකින් පමණි. එහෙත් තමා හඹා එන මේ විශ්වාස කළ නොහැකි පසමිතුරාගේ ආක්‍රමණය ඉවතට තල්ලු කරමින් නැවියන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබුවේ වැඩ බලන නායක දුලාංජන විජේසිංහ විසිනි.
තරගය නිමාවීමට මිනිත්තු 4කට පෙර ඔහු විසින් තබනු ලැබු ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම වැඩි ආයාසයකින් තොරව ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ නැවියන්ට අවසන් පූර්ව වටයේ දොර විවර කර දුන්නේය.
තරගයේ ආරම්භයේදී දෙපිලම කරට කර සටන් වැදුණු අතර 12 වැනි මිනිත්තුවේදී වාජිඞ් ෆවුමි තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සංදේශ් ජයවික්‍රම පොලිස් පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු 3 කට පසුව දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ ලකුණු සංඛ්‍යාව 7-7 කින් සම කළේය. තවත් මොහොතකින් හර්ෂණ මධුරංග අනගි උත්සාහක දිනුමක් තැබූ අතර එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ නැවියන්ට ලකුණු 14-7 කින් පෙරමුණ ගෙන දුන්නේය.
අත නොහැරම නැවියන් හඹා ගිය පොලිස් පිල ඊළඟ මොහොතේ ලකුණු සංඛ්‍යාව 14-14 ක් ලෙස සමකර ගත්තේ සුරංග කසුන් තැබූ උත්සාහක දිනුමක් සංදේශ් ජයවික්‍රම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමත් සමගය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ වීරසිංහ ලකුණු 17-14 කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.
නාවික හමුදා - පොලිස් ක්ලිෆර්ඩ් කුසලාන පළමු අර්ධ අවසන් පුර්ව තරගයේ විශේෂ අවස්ථා...
- 077
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.