Last Update  :  2025-02-05 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදා පිලට ගුවන් ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

නාවික හමුදා පිලට ගුවන් ප්‍රහාරයක්

editorial - 2025 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර අද (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-24 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. 

මෙවර තරගාවලියේදී ගුවන් හමුදාව ලැබූ දෙවැනි ජය මෙය වූ අතර උත්සාහක දිනුම් 4 ක් වාර්තා කිරීම හේතුවෙන් එහිදී ඔවුන්ට ප්‍රසාද ලකුණක්ද හිමිවිය. මෙම තරගයේදී පරාජයට පත්වුවද, උත්සාහක දිනුම් 4 ක් වාර්තා කිරීම සහ ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් නාවික හමුදාවට ප්‍රසාද ලකුණු 2 ක් හිමි විය. 

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව ලකුණු 10 ක් ලබාගනිද්දී, නාවික හමුදාව ලකුණු 12 ක් ලබාගත්තද පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය ගුවන් හමුදාව සතු විය. 

තරගයේ 9 වැනි විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ශාමික කෞෂාන් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ එය ගෝල දිනුමක් බවට පත් කළේය. 12 වැනි විනාඩියේදී ඉෂාර මධුෂාන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමග ගුවන් හමුදාවේ ලකුණු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගියේය. 

ඉසුරු පෙරේරා 22 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමත් සමග නාවික හමුදාව තරගයට අවතීර්ණ වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ නායක තිළිණ වීරසිංහ විසිනි. 27 වැනි විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් මනුක පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් වීමත් සමග ලකුණු තත්වය 19-07 ක් බවට පත් විය. 

පළමු අර්ධය නිමාවීමට විනාඩි 3 ක් ඉදිරිව තිබියදී (37 වැනි විනාඩියේදී) නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හෂාන් මධුමාදව සමත් වූ නමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට තිළිණ වීරසිංහ අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට 19-12 ක් ලෙස ලකුණු 7 ක් පසුපසින් සිටිමිනි දෙවැනි අර්ධය ආරම්භ කිරීමට සිදුවූහ. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 5 ක් ගත වෙද්දී, ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ සිය කණ්ඩායමට තවත් ලකුණු 3 ක් එක් කළේය. කෙසේ වුවත් 53 වැනි සහ 65 වැනි විනාඩිවලදී නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අමිත් මධුෂංක සහ සෙනුර පීරිස් 22-22 ක් ලෙස කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම කළේය. 

ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් නායක තිළිණ වීරසිංහ 22-24 ක් ලෙස පළමු වරට නාවික හමුදාව තරගයේ පෙරමුණට ගෙන ආවේය. එහෙත් නාවික හමුදාවට විනාඩි 4 කට වඩා තරගයේ පෙරමුණ රැකගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් ඉඩක් ලබා නොදුන් අතර 69 වැනි විනාඩියේදී ගෝල දිනුමක් වාර්තා කරමින් ඔවුහු ලකුණු 29-24 ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්හ. 


අදහස් (0)

නාවික හමුදා පිලට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.