Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිලට

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිලට

editorial - 2024 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සංගමයේ සංවිධායකත්වයෙන් ඕමානයේ අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී පැවැති නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ අද (27 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන ‘ඒ‘ ක්‍රීඩකයෝ ඕවර 18.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ සෙදිකුල්ලා අතාල් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් දර්විෂ් රසූලි (24) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සෙදිකුල්ලා, තෙවැනි කඩුල්ල වෙනුවෙන් කරීම් ජනට් (31) සමග එක්ව පන්දු 52 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඇෆ්ඝනිස්ථාන ‘ඒ‘ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ නැංගුරම බවට පත්වූ සහන් ආරච්චිගේ පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. 

ලකුණු 15 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පවන් රත්නායක (20) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සහන්, ඉන් නොනැවතී නිමේෂ් විමුක්ති (42) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 42 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ බිබාල් සාමි සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බිලාල්ට අනගි සහායක් දුන් අල්ලා ඝසන්ෆර් කඩුලු 2 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 133 
(පවන් රත්නායක 20, සහන් ආරච්චිගේ 64, නිමේෂ් විමුක්ති 23, බිලාල් සාමි 22/3, අල්ලා ඝසන්ෆර් 14/2) 

ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල - ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී 134 
(සෙදිකුල්ලා අතාල් නොදැවී 55, දර්විෂ් රසූලි 24, කරීම් ජනට් 31, මොහොමඩ් ඉෂ්රාක් නොදැවී 16) 

 


අදහස් (0)

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.