Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
තහනම් උත්තේජක සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණයකින් අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු උපනායකයකු මෙන්ම ටෙස්ට් ක්‍රීඩකයකු ද වන නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම තහනම, නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙනු ඇත.
මෙම කාලය ඇතුළත කිසිම ආකාරයේ ක්‍රිකට් තරගයකට සහභාගි වීම නිරෝෂන් දික්වැල්ලට තහනම් වේ.
ගෙවීගිය වසර 10 ක පමණ කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කඩුලු රකින්නන් අතුරින් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීමට හැකියාව මෙන්ම අවස්ථාව ද තිබූ නමුත් සිය හිතුවක්කාර ක්‍රියාකලාපය නිසාම දික්වැල්ල ඒ සියල්ල නැතිකර ගත්තේය. ඔහු ටෙස්ට් තරග 54 කට ක්‍රීඩා කර ඇතත් එකම ශතකයක් හෝ ලබා නැත. දික්වැල්ල එක්දින තරග 55 කදී ශතක දෙකක සහ අර්ධ ශතක 9 ක හිමිකරුවෙකි. විස්සයි-20 අන්තර්ජාතික තරග 28 කට ඔහු ක්‍රීඩා කර ඇතත් බොහෝ අවස්ථාවන්හිදී දැවී ගොස් ඇත්තේ වගකීම් විරහිත ආකාරයෙනි.
වසර තුනකට පමණ ඉහත පැවැති කොරෝනා සමයේදී එංගලන්ත සංචාරයක නිරතව සිටි දික්වැල්ල තවත් ක්‍රීඩකයන් දෙදෙනකු සමගින් කණ්ඩායමේ ජෛව බුබුලෙන් පිටට යාම නිසාත් තහනමකට මුහුණ දුන්නේය. එහිදී දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයන් තිදෙනාම වසර දෙකක තහනමකට මුහුණ දුන් නමුත් පසුව රුපියල් ලක්‍ෂ 10 ක අතිරේක දඩයක් ගෙවමින් වසර දෙකක තහනම අඩකින් අඩුකර ගත්තේය.
පසුගිය එල්.පී.එල්. තරගාවලියේදී ගාල්ල ‘මාවල්ස්’ පිලේ නායකත්වය දැරූ දික්වැල්ල තරගාවලියේ අවසන් මහ තරගය දක්වාම සිය කණ්ඩායම කැඳවාගෙන ගියේය. අවසන් තරගයේදී ගාල්ල ක්‍රීඩකයෝ යාපනය කිංග්ස් පිල හමුවේ කඩුලු 9 ක පරාජයක් ලදහ.
දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2023 මාර්තු මාසයේදීය. එසේ වුවත් ඔහු තහනමට ලක්වන තුරුම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය හැකි සීමාවේ සිටියේය.
මෙම තහනම් උත්තේජක සම්බන්ධ පරීක්‍ෂණය එල්.පී.එල්. තරගාවලිය පැවැති සමයේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධනායතනය විසින් කරන ලද්දකි. එය ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම ලෝක තහනම් උත්තේජක මර්ධනායතනයේ ද නිර්දේශ මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් කරන ලද්දක් ද වෙයි. ක්‍රිකට් ක්‍රීඩාව තහනම් උත්තේජක වලින් තොරව පවත්වාගෙන යාමේ අරමුණු පෙරදැරිව මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරේ.
දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන අතරතුර, තහනම් උත්තේජක ගැනීම සම්බන්ධ පරීක්‍ෂණ අහඹු ලෙසින් පැවැත්වෙයි. එවන් පරීක්‍ෂණවලින් වැරදිකරුවන් වන ක්‍රීඩකයන් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තදබල පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.