Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවරඑළිය තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක

නුවරඑළිය තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතබේදයට තුඩු දුන් මෝටර් රථ තරගාවලියක් වන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය මේ වසරේ (2019) මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත් කර ඇතත් එය නිශ්චිත වශයෙන්ම පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය (ස්ලාස්) තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තා වේ. එබැවින් නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය සඳහා වෙන්කර දී ඇති දිනය, දියතලාවේදී පැවැත්වෙන නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ අතිරේක දිනයක් ලෙස වෙන්කිරීමට මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය පියවර ගෙන තිබේ.

නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා අප්‍රේල් මස 19, 20 සහ 21 යන දිනයන්ද, නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය සඳහා අප්‍රේල් මස 20 සහ 21 යන දිනයන්ද වෙන්කර දෙමින් මේ වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනය සකස් කර තිබේ.

සාමාන්‍යයෙන් නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වෙන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදීය. නුවරඑළිය මාර්ග ධාවන තරගාවලිය පැවැත්වෙන්නේ එම සතියේම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීය.

නරියාකන්ද තරගාවලියට සහභාගි වන ඇතැම් තරගකරුවෝ නුවරඑළිය තරගාවලියටද සහභාගි වෙති.
එසේ වුවත් මේ වසරේදී ඉරිදා දිනයත් නරියාකන්ද තරගාවලිය සඳහා වෙන්කර තිබීම හේතුවෙන් මෙම තරගාවලි දෙකටම සහභාගිවීමට සූදානමින් සිටින තරගකරුවන් මෙන්ම එම තරගාවලි සංවිධානය කරන ක්‍රීඩා සමාජද මහත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ ලේකම් රිස්වි ෆාරුක් මහතා ‘ලංකාදීප’යට පවසා සිටියේ 19 වැනි සිකුරාදා දිනය පොහොය දිනයක් බැවින් එදින නරියාකන්ද තරගාවලියේ කාල ගණනයන් පැවැත්වීමට නොහැකි වුවහොත් 20 වැනි සෙනසුරාදා කාල ගණනයන් පැවැත්වීමටත්, 21 වැනි ඉරිදා තරගාවලිය පැවැත්වීමටත් හැකිවන පරිදි කාලසටහන සැකසූ බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ෆාරුක් මහතා මෙසේද පැවැසීය.

“19 වැනිදා කියන්නේ පෝය දවසක්. අපිට හරියටම කියන්න බැහැ පෝය දවසේ ටයිමිං (කාල ගණනයන්) තියන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. අපි කෝකටත් කියලා තමා 21 වැනි ඉරිදා දවසත් ඒ තරගාවලියට වෙන් කරලා තියෙන්නේ. සමහර විට ඒක අවශ්‍ය නොවෙන්නත් පුළුවන්.”

“අනික තමා නුවරඑළිය තරගාවලිය කාලසටහනට ඇතුළත් කරලා තිබුණට ඒක පවත්වන්න අවසර දෙනවාද නැද්ද කියලා අපි (මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය) තීරණය කරන්නේ තරගාවලිය පැවැත්වෙන මාර්ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් 100% ක් සෑහීමකට පත්වෙන්න පුළුවන් වුණොත් විතරයි. ඒ මාර්ගයේ ආරක්ෂාව ගැන පරික්ෂා කරන්න අපි කමිටුවක් පත්කරලා තියනවා.”

“ඒ කමිටුව අපිට කිව්වොත් තරගාවලිය පවත්වන්න තරම් සුදුසු ආරක්ෂාවක් ඒ මාර්ගයේ නැහැ කියලා කණගාටුවෙන් වුණත් නුවරඑළිය තරගාවලිය අවලංගු කරන්න අපිට සිද්ධ වෙනවා. මොකද මීට පෙරත් අවස්ථා කිහිපයකදී ඒ තරගාවලි අතරතුර අනතුරුවලට ලක්වෙලා ක්‍රීඩකයන් මියගිහිල්ලා තියෙනවා.” යැයිද ෆාරුක් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අවසන් වරට 2017 වසරේදී පැවැති නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතුරතුරදී අනතුරකට ලක්වීම නිසා ප්‍රවීන යතුරුපැදිකරු ආනන්ද වෙඩිසිංහ ජීවිතක්ෂයට පත්වූ අතර බලධාරීන්ගෙන් නිසි අවසර නොලැබීම නිසා පසුගිය වසරේදී (2018) එම තරගාවලිය නොපැවැත්විණ. අවසන් වරට පැවැති තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා යොදා තිබූ ආරක්ෂක විදි විධාන සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගෙන් සංවිධායකයන්ට විවිධ චෝදනා පවා එල්ල විය.

තරගාවලි 19 කින් සමන්විත වන මේ වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට සුපර්ක්‍රොස් තරගාවලි 7 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 6 ක්, මෝටර් රථ රැළි 3 ක්, කඳු තරණ 2 ක් සහ රැළික්‍රොස් තරගාවලියක් ඇතුළත් වේ.
පෙබරවාරි මස 16 සහ 17 යන දිනවලදී පැවැත්වීමට නියමිත එළියකන්ද කඳු තරණයෙන් මේ වසරේ මෝටර් රථ තරගාවලි මාලාව ආරම්භ වන අතර නොවැම්බර් මස 23 සහ 24 යන දින වලදී පැවැත්වීමට නියමිත මෝටර් රථ රැළියකින් එය නිමාවට පත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය (ස්ලාස්) සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා) ඉන් තරගාවලි 4 බැගින් සංවිධානය කරන අතර ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය (එස්.එල්.එම්.සී.සී.) සහ සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය (එස්.එම්.එස්.සී.) විසින් තරගාවලි 2 බැගින් සංවිධානය කරනු ලබති.
ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.), සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (සී.එම්.එස්.සී.), මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය (එන්.එම්.එස්.සී.), කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ මෝටර් රේසිං ක්‍රීඩා සංගමය (එම්.ආර්.ඒ.) යන ක්‍රීඩා සමාජ සහ සංගම් එක් තරගාවලිය බැගින් සංවිධානය කිරීමට ඉදිරිපත්ව සිටිති.
ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය (එස්.එල්.එම්.සී.සී.) සංවිධානය කරන වලව සුපර්ක්‍රොස් තරගාවලිය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ සංගමය (ස්ලඩා) සංවිධානය කරන සීගිරිය රැළික්‍රොස් තරගාවලිය ජූනි මාසයේ පිට පිට සති අන්ත දෙකක පැවැත්වීමට කටයුතු යොදා තිබීමද මෙවර මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයේ දක්නට ලැබෙන විශාල අඩුපාඩුවක් බව තරගකරුවෝ කියති. එම තරගාවලි දෙකටම සහභාගි වීමට සූදානමින් සිටින ක්‍රීඩකයන්ට එය ඉතා වෙහෙකර අත්දැකීමක් වනු ඇතැයිද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

විවිධ හේතුමත ඉදිරියේදී මෙම ක්‍රීඩා දින දර්ශනයට තවත් තරගාවලි එක්වීමටත්, තිබෙන තරගාවලි ඉවත්වීමටත්, යොදා ඇති දින වෙනස් වීමටත් ඉඩ කඩ පවතී. මෝටර් රථ රැළි හැරුණුකොට සෙසු තරගාවලි සඳහා මෙහි වෙන්කර ඇති දින දෙකෙන් මුල් දිනයේදී එම තරගාවලියට අදාල කාල ගණනය කිරීම පැවැත්වෙන අතර පසු දිනයේදී තරගාවලිය පැවැත්වෙනු ඇත.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

නුවරඑළිය තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.