Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තයට තුන්වැනි තැන එපාවෙයි

නෙදර්ලන්තයට තුන්වැනි තැන එපාවෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවාසනාවන්තම කණ්ඩායම් දෙකක් බවට පත්වූ සත්කාරක බ්‍රසීලය හා පසුගිය වසරේ අනුශූරතාව දිනූ නෙදර්ලන්තය අතර තරගමාලාවේ තුන්වැනි ස්ථානය තීරණය කිරීමේ තරගය අද (සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
 

ජර්මනිය සමග පැවැති අවසන් පූර්ව තරගයෙන් ගෝල් 7-1ක අන්ත පරාජයක් ලැබූ බ්‍රසීලය සිය අභිමානය යම්තාක් හෝ රැක ගැනීමේ අරමුණින් මේ තරගයට එක්වි සිටි.

නෙදර්ලන්තය තුන්වැනි තැන තේරීමේ තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේ දී ආජන්ටිනාව හමුවේ දඬුවම් පහර 4-2 කින් පරාජයට පත්වීමෙනි. ලෝක කුසලාන සිහිනය බිඳී ගිය මේ කණ්ඩායම් දෙකම තරගයට පිවිසෙන්නේ එහි ජයග්‍රහණයෙන් නැවත කුසලානයට සමීපවීමට කිසිම අවස්ථාවක් නොලැබෙන බව දැන දැනමය.

තුන්වැනි ස්ථානය දිනා ගැනීමත් එක්තරා ජයග්‍රහණයක් ලෙස සළකන බ්‍රසීල පුහුණුකරු ලුයිස් ෆෙලිප් ස්කොලාරි නෙදර්ලන්තය පරාජය කොට බ්‍රසිල ජනතාවට යම් සතුටක් ලබාදීම තම අරමුණ බව කියා සිටි. එහෙත් තුන්වැනි ස්ථානය තේරීමට තරගයක් පැවැත්වීම කිසි තේරුමක් නොමැති වැඩක් බවට නෙදර්ලන්ත පුහුණුකරු ලුයිස් වැන් ජාල් චෝදනා කිරීමට පටන්ගෙන තිබේ.
 
අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්ව ආපසු ගෙදර යාම වෙනුවට ඒ පරාජයේ වේදනාව කරපින්නා ගෙන නැවත තවත් තරගයකට යාමේ තේරුමක් නැතැයි ඔහු කියයි. මේ තරගය පිළිබඳව දැනටමත් අනාවැකි කිහිපයක්ම පළවී තිබේ. ඒ සියලු අනාවැකි අනුව තරගයේ ජය හිමිවන්නේ නෙදර්ලන්තයටය.

කෙසේවෙතත් ලොව ප්‍රබලතම කණ්ඩායම් දෙකක් වන බ්‍රසිලය හා නෙදර්ලන්තය අතර තරගය පිළිබඳ අනාවැකි පළ කිරීම ඉතා දුෂ්කර බව ලෝක පාපන්දු ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති. දෙපිලේම ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ මට්ටමක තිබෙන බවත්, හැකියාව අතින් දෙපිලම කරට කර සිටින බවත් ඔවුන්ගේ අදහසය. දෙපිල අතර මේ දක්වා ජාත්‍යන්තර තරග 11ක් පවත්වා තිබෙන අතර දෙපිලම ඉන් තරග 3 බැගින් ජයගෙන සිටිති. ඉතිරි තරග සියල්ලම ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
 
තරගය නැරැඹීමට බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුව නේමාර් ද ක්‍රීඩාංගණයට පැමිණෙන බවට වාර්තා විය. එය අවසන් පූර්ව තරගයෙන් පසුව බ්‍රසීල කණ්ඩායම කෙරෙහි කළ කිරුණු එරට ජනතාව නැවත ක්‍රීඩාංගණයට එකතු කරගැනීමට ප්‍රබල සාධකයක් වනු ඇත.

සත්කාරකත්වය මත බ්‍රසිලයට යම් වාසි සහගත තත්ත්වයක් පෙනෙන්නට තිබුණත් බ්‍රසිල ක්‍රීඩාංගණවලට හොඳින් හුරුපුරුදුව සිටින නෙදර්ලන්ත ක්‍රීඩකයන්ගෙන් ජයග්‍රහණය උදුරා ගැනීම එතරම් පහසු එකක් නොවනු ඇතැයි ඔවූහූ පවසති.
 
බ්‍රසීලය වෙනුවෙන් මාර්සිලෝ, නායක තියාගෝ සිල්වා සහ ඩේවිඩ් ලුයිස්ට වැඩි වගකීමක් පැවැරී ඇති අතර ආර්ජෙන් රුබෙන්, වෙස්ලි ස්නයිජර් සහ නායක රොබින් වැන් පර්සි කෙරෙහි නෙදර්ලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු රැඳී ඇත.


අදහස් (0)

නෙදර්ලන්තයට තුන්වැනි තැන එපාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.