Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේපාලයෙන් වි-20 වාර්තා වැලක්
ආසියානු ක්‍රීඩා

නේපාලයෙන් වි-20 වාර්තා වැලක්

editorial - 2023 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ආරම්භ කරමින් අද (27 වැනිදා) පැවැති තරගයකදී වාර්තා රැසක් බිහිකරමින් මොංගෝලියාවට එරෙහිව ලකුණු 273 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය මොංගෝලියාවට ඕවර 13.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 41 ක් පමණි. 

විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායම් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව, වේගවත්ම විස්සයි-20 ශතකය, වේගවත්ම විස්සයි-20 අර්ධ ශතකය, විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් ලැබූ ඉහළම ජයග්‍රණය, විස්සයි-20 ඉනිමකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවද (26) එම වාර්තා අතර විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් ලබාගත්තේය. එහිදී කුෂාල් මල්ලා පන්දු 50 කදී හයේ පහර 12 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 137 ක් රැස්කළේය. අයර්ලන්තයට එරෙහිව 2019 වසරේදී ඇෆ්ඝනිස්ථානය ලබාගත් ලකුණු 278 මින් පෙර විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබිණ. 

නායික රෝහිත් පෞඩෙල් පන්දු 27 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 61 ක්ද, දීපේන්ද්‍ර සිං පන්දු 10 කදී හයේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 52 ක්ද රැස්කරමින් නේපාල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. රෝහිත් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 193 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුෂාල් සමත් විය. 

එහිදී කුෂාල් මල්ලා පන්දු 34 කදී ශතකය සම්පූර්ණ කළ අතර එය විස්සයි-20 තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය. මින් පෙර එම වාර්තාවේ සම අයිතියට හිමිකම් කියනු ලැබුවේ පන්දු 35 කින් ශතක ලබා සිටි ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව), රෝහිත් ශර්මා (ඉන්දියාව) සහ සුදේෂ් වික්‍රමසේකර (චෙක් ජනරජය) විසිනි. 

පන්දු 9 කදී දීපේන්ද්‍ර සිං ලබාගත් අර්ධ ශතකය විස්සයි-20 තරගයකදී ක්‍රීඩකයක් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය බවට පත්වූ අතර ඔහු එම අර්ධ ශතකය ලබාගත්තේ තමා මුහුණදුන් පිට පිට පන්දු 6 කට හයේ පහර 6 ක් එල්ල කරමින් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 12 කින් අර්ධ ශතකයක් ලබාගත් ඉන්දියාවේ යුවරාජ් සිංය. 

නේපාලයේ මෙම ජයග්‍රහණයට පෙර වැඩිම ලකුණු පරතරයකින් විස්සයි-20 තරගයක් ජයගනු ලැබ තිබුණේ චෙක් ජනරජය විසිනි. ඔවුන් 2019 වසරේදී තුර්කියට එරෙහිව ලකුණු 257 ක ජයක් ලබමින් එම වාර්තාව පිහිටුවා තිබිණ. 

නේපාලය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 314 
(කුෂාල් භූටෙල් 19, අසීෆ් ශෙයික් 16, කුෂාල් මල්ලා නොදැවී 137, රෝහිත් පෞඩෙල් 61, දීපෙන්ද්‍ර සිං නොදැවී 52) 

මොංගෝලියාව - ඕවර 13.1 කදී සියලු දෙනා දැවී 41 
(කේ.සී. කරන් 01/2, අභිනාෂ් බොහාරා 02/2, සන්දීප් චැමිචේන් 07/2) 

-036 


අදහස් (0)

නේපාලයෙන් වි-20 වාර්තා වැලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.