Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පදක්කම් සොයා 53 ක් පුහුණුව අරඹති

පදක්කම් සොයා 53 ක් පුහුණුව අරඹති

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ආසියානු ක්‍රීඩා උළෙලේදී හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනකු සංචිත ගත කර තිබේ.  එහිදී උසස් දක්ෂතා ප්‍රවර්ධන පුහුණු සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්  13 දෙනකු ඇතුළත් වේ. තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනකු ජාතික පුහුණු සංචිතයට අනුයුක්ත කර තිබේ.

බර ඉසිලීමේ ජාතික පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංචිත දෙකේම පුහුණුවීම් ආරම්භ කර තිබේ. උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයේ පුහුණු කාර්ය මණ්ඩලය පුහුණුකරුවන් හත් දෙනකුගෙන් සමන්විය.  පුහුණුකරුවන් 11 දෙනකුගේ කාර්ය මණ්ඩලයක් ජාතික සංචිතයේ පුහුණු කටයුතු මෙහෙයවයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම සංචිත දෙකේ දෛනික පුහුණුවීම් දිවයිනේ ස්ථාන කීහිපයකදීම පවත්වා ගෙන යන බව ජාතික පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා පවසයි.
මහනුවර, කොළඹ, පොළොන්නරුව, කුරුණෑගල ආදී ප්‍රදේශ ගණනාවකදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ගම් පළාතේම රැඳී සිටිමින් දෛනික පුහුණුවීම් පවත්වා ගෙන යාමට අවස්ථාව සැලසී ඇතැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පස් දෙනෙක් සිටිති. චින්තක ගීතාල් විදානගේ, සුදේශ් පීරිස්, ඉන්දික දිසානායක, චින්තක ලක්මාල් හා හංසනී ගෝමස් ඔවුහු වෙති.

39 හැවිරිදි චින්තක ගීතාල් 2006 හා 2010 දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකකදී රන් පදක්කමක් (කිලෝග්‍රෑම් 62 බර පන්තිය) හා රිදී පදක්කමක් (කිලෝග්‍රෑම් 89 බර පන්තිය) දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයායි. මේ වනවිට ඔහු කිලෝග්‍රෑම් 89 බර පන්තිය තෝරා ගෙන තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු හැරෙන්නට උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයේ සෙසු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරන්නෝ වෙති. ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බහුතරයක්ද ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජවල සාමාජිකයෝ වෙති. ඉන් වැඩි දෙනකු යුද හමුදා ක්‍රීඩා සමාජයේ අයයි.

මීලඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2022 ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වේ.  ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර්  10 සිට 25 වැනිදා දක්වා චීනයේ  ගුවැංෂු නුවරදීත් පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලි දෙකේදී ශ්‍රී ලංකාව පදක්කම් 5 ක් පමණ බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා පවසයි. .

 


අදහස් (0)

පදක්කම් සොයා 53 ක් පුහුණුව අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.