Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්

පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එළඹෙන ජූනි මාසයේදී 31 වැනි වියට පා තබන මැතිව්ස් කලව ප්‍රදේශයේ නහර ඇදීමක් හේතුවෙන් පසුගිය ජනවාරී මස 17 වැනිදා සිට ක්‍රීඩාවෙන් ඈත්ව සිටියේය. නමුත් ඔහු නැවතත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට කැඳවා ඇති අතර කැරිබියන් දූපත්හී ටෙස්ට් සංචාරයක ඔහු නිරතවන පළමු අවස්ථාවද මෙය වන්නේය.

මාස තුනක කාලයක් පුරා පුනරුත්ථාපනය වීම සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා කැරිබියන් දූපත් කරා පිටත්වීමට පෙර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දින අටක පුහුණු කඳවුරේදී පූර්ණ ශරීර යෝග්‍යතාවයෙන් යුතුව සිය පුහුණු කටයුතු සාර්ථකව නිම කළේය.

“මට ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ” යැයි ඇන්ජලෝ මැතිව්ස් සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.
“ඒක මට නරක විදියට ලැබුණු විවේකයක්. ඒත් බොහෝ අවස්ථාවන්හිදි මගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සදහා මාව තේරුම් ගනිමින් මට උදව්කළ සියලුදෙනාටම ස්තූති වන්ත වෙනවා”

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලිය ඇතුළුව මාස තුනක කාලයක් පුරා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමට නොහැකිවූ මැතිව්ස් ජාතික තේරීම් කම්ටුවේ ඉල්ලීම මත තරගයක් ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව තිබේදැයි බැලීම සදහා අප්‍රේල් මාසයේදී දේශීය ක්‍රිකට් තරග සඳහා එක්වීය.

“ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ඒම සඳහා මූලික කරුණවූයේ මගේ අබාධ තත්ත්වය” යැයි මැතිව්ස් පැවසීය.
“සෑම කෙනෙක්ම මේ ව්‍යායාමයට එක්වුනා. පුහුණුකරුවෝ, පුහුණුකරන්නෝ භෞත චිකිත්සකවරු සහ තේරීම් කමිටු සාමාජිකයෝ එක්වී පුහුණුවිම් කිරීම සදහා මට සැලැස්මක් ලබාදුන්නා.... මගේ පාදය යෝග්‍ය ආකාරයෙන් නැවත සකසා ගන්න මට පුළුවන් වුණා.”

“කෙටි දිවීමේ පුහුණුවේ සිට ව්‍යායාම් පුහුණුව දක්වාත්, බර ඉසිලීමේ පුහුණුවේ සිට දරාගැනීමේ ශක්තිය වර්ධනය කරගැනීමේ පුහුණුව දක්වාත් අපි හැම දෙයක්ම කළා. එම වේලාවන් අතරතුර මගේ පිතිහරඹය ගොඩනගා ගැනීම සඳහාත් පුහුණුවීම් කටයුතු වල නිරතවූ අතර සංචිතයට මාව තෝරාගැනීමට පෙරාතුව සිවුදින තරගයක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කළා” යයිද මැතිව්ස් පැවසීය.

මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත්ව සිටි කාලයේදී විශිෂ්ට තරගමාලාවක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී  සියලුම කුසලාන දිනාගැනීමට සමත් විය. එහෙත් බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමීවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට සාර්ථක වීමට අවස්ථාවක් හිමිනොවීය.

මේ වන විට නිසි ශරීර යෝග්‍යතාවයෙන් පසුවන මැතිව්ස්ගේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ආබාධ වලින් තොරව ඔහුගේ වැඩ කොටස නිසියාකාරව  සම්පූර්ණ කරගන්නේ කෙසේද යන්නයි. පුහුණු කාර්යමණ්ඩලය සහ පුහුණුකරුවන් සමගින් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔවුන් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් මැතිව්ස් පවසයි.

“වැඩකොටස කළමනාකරණය කරගැනීමේදී පුහුණු කාර්යමණ්ඩලය සහ පුහුණුකරුවන් සමගින් කථාබස් කරගැනීම ඉතාමත් වැදගත් මම හිතනවා” යැයි මැතිව්ස් පුන පුනා කිවේය.

“තේරීම් කමිටුවේ ඉන්නේ බොහෝම විවෘත අදහස් ඇති අය. භෞතික චිකිත්සකවරු හොඳින්ම දන්නවා අවදානම් කලාපයේ කවුද ඉන්නේ කියලා. ඔවුන් (ක්‍රීඩකයන්) බොහෝ ක්‍රීඩා කරලා තියෙනවා. ප්‍රධාන පුහුණුකරු සහ තේරිම් කමිටුවේ නිලාධාරීන් සමගින් සාකච්ඡා කර ක්‍රීඩකයින්ට අවශ්‍යදේ හරියටම ලබාදෙනවා.”

“ඉදිරියට යනවිට ක්‍රීඩකයින් කළමණාකරණය කිරීම බොහොම වැදගත්. විශේෂයෙන් ඉදිරි මාස කිහිපයේදී තරගාවලි කිහිපයක් යෙදී තිබෙන නිසා” යැයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටු නිලධාරීන් සමගින් සාකච්ඡාකර තමන්ගේ වැඩ කොටස කළමනාකරණය කරගැනීම සඳහා මේ අවස්ථාවේදී පන්දු යැවීම තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව මැතිව්ස් පැවසීය. සම්පූර්ණයෙන්ම පන්දු යැවීම අත්හැරීමට අදහසක් නැති බවත් ඔහු පැවසීය.

“කෙටියෙන්ම කියනවා නම් ඒක තමයි සැලැස්ම” යැයි ඔහු පැහැදිලි කළේය.
“අපි ඒ ගැන සාකච්ඡා කළා. ඉදිරි මාස කිහිපයේදී පන්දු යැවීමෙන් වැළකී සිටිමට තීරණය කළා. අපි දැන් ඉන්නේ සංචාරයක් අභියසයි”

“මගේ ශක්තිය උපයෝගී කරගනිමින් ඕවර කිහිපයක් යැවීමට සලකා බලනවා. නමුත් සියල්ලා රඳා පවතින්නේ මගේ ශාරීරික යෝග්‍යතාව මතයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

“මම උපරිම උත්සහ කරනවා ඉතා ඉක්මනින්ම පන්දු යැවීමට. නමුත් මේ අවස්ථාවේදී අවදානමක් ගන්න බෑ. ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටුව සමගින් කථාබහ කරලා පන්දු යැවීම සඳහා උචිත සැලැස්මක් යොදාගන්නවා”

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස්වැස්ම දිනාගත් දිනයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවට මැතිව්ස් පත්විය. එක්දින තරග වලදී පන්දු යවන්නෙක් ලෙස ඔහුගෙන් ලැබුණු දායකත්වය ඉහළ තත්ත්වයක තිබුණි.

“මම කැමතියි කියන්න, මට ඕන පන්දු යවන්න” යැයි ඔහු නැවත නැවතත් පැවසීය.

“මම ක්‍රීඩාකළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට. නමුත් ඉදිරි මාස කිහිපයේදී මට පන්දු යැවීමට නොහැකි වෙනවා. මම විශේෂ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළත් ඕවර කිහිපයක් යැව්වා. නමුත් මගේ හැඟීමේ හැටියට මට පුලුවන් සිමිත ඕවර තරග වලදී ඕවර කිහිපයක් යවන්න. එහෙම වුනොත් තේරීම් කමිටුවට සහ පුහුණුකරුට පුලුවන් වෙනවා කණ්ඩායම සමබර කරගන්න. නමුත් පන්දු යවලා මට අවදානමක් ගන්න බෑ. මේ වසර අවසාන වන විටදී මගේ ශාරීරික යෝග්‍යතාව වැඩිකරගනිමින් හෙමින් හෙමින් පන්දු යැවීම ගොඩනඟා ගන්න උත්සහ කරනවා. විශේෂයෙන් එතෙර සංචාරවලදී ඕවර කිහිපයක් යැවීමට මම උත්සහ කරනවා” යයිද මැතිව්ස් පැවසීය.
 
2017 වසර ශ්‍රී ලංකාවට ඉතා නරක කාල සීමාවක්වූ අතර ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ඉදිරි කාළය ශ්‍රී ලංකාවට යහපත් කාලයක් වනු ඇතිබව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක මැතිව්ස් විශ්වාස කරයි.
“හතුගේ ආගමනයත් සමගින් මෙහි වාතාවරණය වෙනස්වූවා” යැයි ඔහු පැවසීය.

“ඔබට පේනවා ඇති දැන් ක්‍රීඩකයින් නිදහසේ ක්‍රීඩාකරනවා. සෑම ක්‍රීඩකයකුටම පෞද්ගලිකව කථාකරමින් ඔහු ඔවුන්ගේ විශ්වාසය වැඩි කළා. ඒක තමා ක්‍රීඩකයින්ගේ විශ්වාසය වැඩිකිරීමට කරන්න තිබෙන්නේ” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

“ඔබ දකින්න ඇති පසුගිය මාස කිහිපයේදී අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය වෙලා තියෙනවා. අපි නිදහස් කුසලාන පැරදුනා තමයි. නමුත් අපේ කොල්ලෝ බංග්ලාදේශයේදී හොඳින් ක්‍රීඩා කළා. අපේ ක්‍රීඩකයින් දැන් හොඳින් වැඩෙනවා. නිදහසේ අපිට ක්‍රීඩාකරන්න ලැබෙනවානම් ඔබට බලාගන්න පුලුවන් අපේ දක්ෂතා” යැයි මැතිව්ස් පුන පුනා පැවසීය.


සන්ඩේ ටයිම්ස් ඇසුරිනි -
සැකසුම : රොෂාන් ගුණරත්න
මුල් වාර්තාව : චම්පික ප්‍රනාන්දු

 


අදහස් (0)

පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.