Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව දිනවති
සුදුසුකම් තේරීමේ තරගාවලිය

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව දිනවති

editorial - 2023 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (30 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තවදුරටත් තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තයට මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි. එහිදී නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 9 ක් යැවූ තික්ෂණ, ලකුණු 31 කට කඩුලු 3 දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 53 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.  

ලකුණු ලබාගැනීමට ආරම්භ කිරීමටත් පෙරාතුවම නෙදර්ලන්ත ආරම්භක පිතිකරු දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සහ දිල්ෂාන් මධුෂංක සමත් වූහ. එහෙත් ඉන් අනතුරුව පිටියේ එක් වූ වෙස්ලි බැරේසි (52) සහ බස් ඩි’ලීඩ් (48) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නෙදර්ලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ.

කෙසේ වුවත් අර්ධ ශතකය ලබාගත් විගස වෙස්ලි දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දසුන් ශානක සමත්වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ ලකුණු 6 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳහෙළමින් නෙදර්ලන්තයේ ජයග්‍රාහී බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය.

ඉන් අනතුරුව හුදෙකලා පිතිහරඹයක නිරත වූ නායක ස්කොඩ් එඩ්වඩ්ස් පන්දු 68 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිරත විය. එහෙත් ඒ සඳහා අවශ්‍ය සහාය පසුපෙළ පිතිකරුවන්ගෙන් නොලැබීම හේතුවෙන් ඔහුගේ උත්සාහය අසාර්ථක විය.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි. මෙම තරගාවලියේදී ඕවර 50 නිමා වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවී ගිය දෙවැනි අවස්ථාව මෙය විය. තරගයේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක දැවීයෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය.

මුලු ලකුණු සංඛ්‍යාව 67 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න (33) දැවී ගිය අතර ඒ වන විට තවත් පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියහ. දිගින් දිගටම පිතිකරුවකු ලෙස අසාර්ථක වූ නායක දසුන් ශානකට මෙම තරගයේදීත් පන්දු 20 කට මුහුණ දෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී, පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොනැගූ ධනංජය ද සිල්වා, පන්දු 111 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග සිය 10 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. එය ඔහු එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. ආර්යන් දත්ගේ පන්දුවක් හමුවේ බස් ඩි’ලීඩ් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය දැවී ගියේ ශතකය පෙනි පෙනීය.
 
නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ (28) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, අඩ පණ වී තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජවයක් එක් කරමින් ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. පන්දු 47 කට මුහුණ දෙමින් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ තීක්ෂණ, ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා ධනංජයට අනගි සහායක් දුන්නේය.


අදහස් (0)

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.