Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දුයවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

පන්දුයවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බුවනේෂ්වර් කුමාර්ගේ සහ කුල්දීප් යාදව්ගේ දක්ෂ පන්දුයැවීම නිසා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 50 ක ජයක් අත්කරගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 43.1 ක් අවසානයේ ලකුණු 202 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 9 ක් පමණක් ලබාදෙමිනි.

ඕස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා බුවනේෂ්වර්ට අනගි සහායක් දුන් කුල්දීප් යාදව් කඩුලු ත්‍රිත්වයක් දවාගත්තේය.  

ඕස්ට්‍රේලියානු ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 9 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ බුවනේෂ්වර්, අවසන් පිතිකරුවා වූ කේන් රිචඞ්සන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

බවනේෂ්වර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හිල්ටන් කාට්රයිට් දැවී ගිය අතර ඬේවින් වෝනර් දැවී ගියේ අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දෙමිනි. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ 37 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මැතිව් වේඞ්ගේ කඩුල්ල බිඳ දැමූ කුල්දීප් යාදව්, තෙවැනි පන්දුවේදී ඇස්ටන් ආගර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේය.

සිවුවැනි පන්දුවේදී පැට් කමින්ස් ලබාදුන් උඩ පන්දුව කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ දෑත් අතර සිරවීමත් සමග යාදව් සිය පළමු එක්දින කඩුලු ත්‍රිත්වය ලබාගත්තේය. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ස්ටීවන් සිමිත් (59) සහ ට්‍රැවීස් හෙඞ් (39) සමත් වුවත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 76 කදී වාර්තා වූ ස්මිත්ගේ 18 වැනි අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 39 කදී වාර්තා වූ හෙඞ්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් මාර්කස් ස්ටොයිනිස් පන්දු 65 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේ (55) සහ නායක විරාට් කෝලි (92) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 64 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස්කරගෙන සිටි අජින්ක්‍යා රහනේ දුවද්දී දවාගැනීමකට හසුකර ගැනිමට හිල්ටන් කාට්රයිට් සහ මැතිව් වේඞ් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. 

පන්දු 107 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 92 ක් ලබා සිය 31 වැනි ශතකයට ලකුණු 8 ක් මෙපිටින් සිටියදී නේදන් කූල්ටර්නයිල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමත් සමග ඉතා අවාසනාවන්ත ලෙස කෝලිට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. 

කේන් රිචඞ්සන් සහ නේදන් කූල්ටර්නයිල් කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඉන්දියාව - ඕවර 50 කදී සියලු දෙනා දැවී 252
(අජින්‍යා රහනේ 55, විරාට් කෝලි 92, කේදර් ජාදව් 24, හර්දීක් පාණ්ඩ්‍යා 20, බුවනේෂ්වර් කුමාර් 20, නේදන් කූල්ටර්නයිල් 51/3, කේන් රිචඞ්සන් 55/3) 


ඕස්ට්‍රේලියාව - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 202
(ස්ටීවන් ස්මිත් 59, ට්‍රැවීස් හෙඞ් 39, ග්ලේන් මැක්ස්වෙල් 14, කාර්කස් ස්ටොයිනිස් නොදැවී 62, බුවනේෂ්වර් කුමාර් 9/3, කුල්දීප් යාදව් 54/3, යුස්වින්දර් චාහල් 34/2, හර්දීක් පාණ්ඩ්‍යා 56/2)

-036


අදහස් (0)

පන්දුයවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.