Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී පසුපෙළ ක්‍රීඩකයන් අතර පැවැති සටනින් ජයගත් දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටී. වමතින් දඟ පන්දු යවන්නකු වන වෙල්ලාලගේ සතුව ඇති පිතිහරඹ හැකියාවත් විශේෂයෙන්ම පිටියේ ඕනෑම තැනක පන්දු රැකීමේ හැකියාවත් මෙහිදී ඉස්මතු වී තිබේ.
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා දැනට ක්‍රීඩකයන් 15 දෙනකු තෝරාගෙන එම නම් ලයිස්තුව ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ. කෙසේ වෙතත් වීසා සඳහා ඉල්ලුම් කළ ඉතිරි ක්‍රීඩකයන් 10 දෙනා අතුරින් තිදෙනකු හෝ සිව් දෙනකු අතිරේක ක්‍රීඩකයන් ලෙසින් තෝරාගැනීමට නියමිතය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වූයේ අවශ්‍ය අවස්ථාවන්හිදී පහර නිර්මාණය කරමින් පන්දුවට පහර දෙමින්, වේගයෙන් ලකුණු ලබාගැනීමේ හැකියාව ඇති විශේෂඥ පිතිකරුවකු පසුපෙළට යෙදවීමයි. එහිදී ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ සිය ස්ථානය රැකගෙන තිබේ. වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ස්ථානය අහිමි විය.
මේ දිනවල පැවැත්වෙන විස්සයි-20 පෙරහුරු තරගාවලියේ තරග 3 කදී ලකුණු 56 ක් පමණක් ලබා සිටින පෙරේරා, විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වසරකින් මෙපිට අර්ධ ශතකයක් ලබාගෙන නැත. විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ඔහුගේ අවසන් අර්ධ ශතකය වාර්තා වන්නේ 2023 අප්‍රේල් මාසයේදී නවසීලන්ත පිලට එරෙහිව ඕක්ලන්ඞ් නුවරදී ලකුණු 53 ක් ලබාගැනීමයි.
පෙරහුරු තරගාවලියේ තරග 4 කදී කඩුලු 8 ක් දවාගෙන සිටින වෙල්ලාලගේ තවමත් විස්සයි-20 අන්තර්ජාතික තරග වලට සහභාගි වී නැත. එසේ වුවත්, වෙල්ලාලගේ, ඕනෑම අවස්ථාවකදී, දැඩි පීඩනයකට මුහුණ දෙමින් වුවද, තරගයක් වෙනස් කළ හැකි පසුපෙළ පිතිකරුවෙකි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජූනි මස 2 වැනිදා සිට 29 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග තුනක් ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතය. නෙදර්ලන්තයට එරෙහි තරගය බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ග්‍රොස් අයිලට්හිදී පැවැත්වෙයි.
එකකට 5 ක් බැගින්, කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4 කට බෙදා මූලික වටයේ තරග පැවැත්වෙයි. මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය තරග වදිති. එක් එක් කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.