Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු ආසියානු ගෘහස්ථ රන් පදක්කම ගයන්තිකාගෙන්

පළමු ආසියානු ගෘහස්ථ රන් පදක්කම ගයන්තිකාගෙන්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ ටෙහෙරාන් නුවරදී පෙරේදා (3) නිමාවට පත් වූ අටවැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා හසන්තිකා අබේරත්න සමත් වූවාය.

එය ශ්‍රී ලංකාව ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියකදී දිනා ගත් පළමු රන් පදක්කම වන අතර මෙම ක්‍රීඩිකාව ලබන අප්‍රේල් 4 වැනිදා ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ්කොස්ට් නුවරදී ආරම්භ වන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නිර්දේශ වී සිටින සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ද නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනාගෙන් අයෙකි.

එහෙත් එහිදී ඇය නිර්දේශ වී සිටින්නේ මීටර 800 කාන්තා ඉසව්වෙනි. එම ඉසව්වෙන් මෙම තරගාවලියේදී ලෝකඩ පදක්කමත් දිනාගත් නිමාලි ලියනආරච්චි ද ඇය සමඟ ‘ගෝල්ඞ්කොස්ට්’ තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකාව ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර එහිදී එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකාව එම තරගාවලියේදී දිනාගත් වැඩිම පදක්කම් ගණන ද වීම කැපී පෙනේ.

කසකස්තාන ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් ගයන්තිකා විනාඩි 4 තත්ත්පර 26.83කට එම රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

පෙරේදා තරගාවලිය නිමාවට පත් වූ දිනයේදී ශ්‍රී ලංකාවට සෙසු ලෝකඩ පදක්කම හිමිකර දුන්නේ දුර පැනීමේ ක්‍රීඩක ජනක ප්‍රසාද් විමලසිරි ය. ඒ මීටර 7.67කටය.

නිමාලි ලියනආරච්චි (මීටර 800), උපමාලිකා රත්නකුමාරි (මීටර 400) තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගත් සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙති.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුගෙන් සමන්විත ටෙහෙරාන් තරග සංචාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා තුන් පිම්ම ක්‍රීඩිකා හසිනි ප්‍රසාදිකාට පමණක් තරගාවලියේදී පදක්කමක් මග හැරී ගිය අතර ඇය එහිදී හිමිකර ගත්තේ හයවැනි ස්ථානයයි. දුර පැනීම පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත් ජනක ප්‍රසාද් විමලසිරි ද එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට වරම් හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි.


අට වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව පදක්කම් දිනාගත් ඉසව්වල ප්‍රතිඵල

මීටර් 1500 - (කාන්තා)
1 හසන්තිකා අබේරත්න (ශ්‍රී ලංකාව-විනාඩි 4 තත්පර 26.83)
2. තැත්යානා ෆරොස්නෙක් (කසකස්තානය - 4.28.20)
3. ටියෝ ධආනා දූතුයෝ (වියට්නාමය 4.28.87)


දුර පැනීම (පිරිමි):-
1. ෂී. සුභාගෝ (චීනය මීටර් 8.16)
2. ලීක් හොන්ජා මින් (චීන තායිපේ 7.72.)
3. ජනක ප්‍රසාද් විමලසිරි (ශ්‍රී ලංකාව මීටර් 7.67)


මීටර් 400 (කාන්තා) -
1 ස්වේට්ලානා හොලෙන්ඩොවා (කසකස්තානය-තත්ත්පර 53.28)
2 මලීනා විනිතා (කසකස්තානය 53.49)
3. උපමාලිකා රත්නකුමාරි (ශ්‍රී ලංකාව 54.90)


මීටර් 800 (කාන්තා) -
1 චුන්සුවූන්ග් (චීනය විනාඩි 2. තත් 09.30)
2. ෂියෑන්ග් හූ (චීනය 2.10.81)
3. නිමාලි ලියනආරච්චි (ශ්‍රී ලංකාව 2.10.83)
4. ගයන්තිකා අබේරත්න (2.11.20).

තුන්පිම්ම (කාන්තා) -
1 ලීනා එක්ටෝවා (කසකස්තානය මීටර 13.79)
2 ෂිනා තෙල්තාල් මැකී (ඉන්දියාව 13.37)
3 කී දී චාඕ (වියට්නාමය 13.22)
4. හෂිනි ප්‍රසාදි (ශ්‍රී ලංකාව 12.77).

 


අදහස් (0)

පළමු ආසියානු ගෘහස්ථ රන් පදක්කම ගයන්තිකාගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.