Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට ලකුණු 2 ක තියුණු ජයක්

පාකිස්තානයට ලකුණු 2 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සායිද් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (31 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි.

තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 17 ක් අවශ්‍ය වුවද, ශහීන් අෆ්රිඩි යැවූ එම ඕවරයේදී හතරේ පහර 2 ක් සමග නවසීලන්ත පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රොස් ටේලර් පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කළද නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් විය.

නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් කොලින් මුන්රෝ පන්දු 42 කදී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ග්ලේන් පිලිප්ස් (12) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුන්රෝ සමත් වූ අතර පිලිප්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ හසන් අලී ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉමාඞ් වසීම් සහ ශඩාබ් ඛාන් කඩුල්ල බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 තුළදී ලකුණු 148 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ මොහොමඞ් හෆීස් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය.

අසීෆ් අලී පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, සර්ෆරාස් අහමඞ් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඉනිමේ අවසන් භාගයේදී පන්දු 5 කට මුහුණදුන් ඉමාඞ් වසීම් එහිදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 14 ක් රැස්කළේය.

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 කට 148
(අසීෆ් අලී 24, මොහොමඞ් හෆීස් 45, සර්ෆරාස් අහමඞ් 34, ඉමාඞ් වසීම් නොදැවී 14, ඇඩම් මිලන් 28/2)

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 146
(කොලින් මුන්රෝ 58, රොස් ටේලර් 42, හසන් අලී 35/3)

-036


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.