Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තනි අතින් සුනු විසුණු කළ නවුමන් අලී (70/7) සහ නසීම් ෂා (44/3) එක්ව, කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (27 වැනිදා) නිමාවු ටෙස්ට් තරගයේදී සිය ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ටෙස්ට් ජයග්‍රණය කරා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 410 ක ඉලක්කක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 188 කට දැවී ගියේ ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත පරාජයකට මුහුණ දෙමිනි.
මෙම පරාජය, ශ්‍රී ලංකාවේ වසර 41 ක ටෙස්ට් ඉතිහාසයේදී, ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී මුහුණ දුන් විශාලතම පරාජය ද වෙයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් මව් බිමේදී මුහුණ දුන් විශාලතම පරාජය වූයේ 1993 දී දකුණු අප්‍රිකානු පිල හමුවේ එස්.එස්.සී. පිටියේදීම මුහුණ දුන් ඉනිමක සහ ලකුණු 208 ක පරාජයයි. එය මීට වසර 30 කට එපිටින් පැවැති තරගයකි.
අද නිමාවූ තරගයේදී ලද පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2023 - 2025 ලෝක ටෙස්ට් ශූරතාවලි චක්‍රයේ පළමු තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය විය.
සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට 576 ක් ලබාගත් පාකිස්තානුවෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ලකුණු 410 ක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පිලට අභියෝග කළහ. ඒ වෙනුවෙන් සම්පූර්ණ දින දෙකක කාලයක් ඉතිරිව තිබිණ.
අභියෝගය අසීරු වූවත්, එය බාරගැනීම හැර විකල්පයක් නොතිබූ ශ්‍රී ලංකා පිතිකරුවෝ, දිවා ආහාරයට පෙර, විනාඩි 113 ක කාලයක් ඇතුළත අවාසිය ලකුණු 329 ක් දක්වා අඩුකර ගත්හ. එහෙත් දිමුත් කරුණාරත්නගේ දැවී යාමෙන් පැය දෙකක් ඇතුළත, ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයක සිට පරාජයේ අගාධයට ඇදී ගියේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නවුමන් අලී, ටෙනිස් පිටිය අන්තයෙන් ලැබෙන ඉපිළීම හොඳින් ප්‍රයෝජනයට ගනිමින්, තේ පානයට පෙර කඩුලු 6 ක් දවාගත්තේ නැවත හිස එසවීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් ඉතිරි නොකරමිනි. ඉමාම් උල් හක්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීම් දෙකක් මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පහර තේරීමත් නවුමන් අලීගේ සාර්ථකත්වයට සම්මාදම් විය.
තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 143 කට බිඳ වැටී තිබිණ. එහෙත් තම කණ්ඩායම කිසියම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමට රමේෂ් මෙන්ඩිස් සහ මැතිව්ස් දෙදෙනා දැඩි උත්සාහයක් ගත්හ.
මැතිව්ස් ලකුණු 38 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි විනිසුරු රවීන්ද්‍ර විමලසිරි මහතා තීරණය කළ නමුත් එය විතීවි වෙත යොමුකළ පිතිකරුවා තම කඩුල්ල බේරා ගත්තේය. පැය තුනක කාලයක් පුරා පිටියේ රැඳෙමින්, මැතිව්ස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පාකිස්තානුවන්ගේ බලාපොරොත්තු එන්න එන්නම ප්‍රමාද කරමිනි. මේ අතරවාරයේදී රමේෂ් මෙන්ඩිස් ද, පිට පිට පන්දු දෙකකදීම කඩුල්ල අවරණය කිරීමෙන් දැවී ගියේ යයි ලැබුණු තීන්දු දෙකක් විතීවි වෙත යොමුකරමින්, දෙවරක්ම තම කඩුල්ල ආරක්ෂා කරගත්තේය.
හත්වැනි කඩුල්ල දවාගැනීමේ අවස්ථාව පැයකින් පමණ ප්‍රමාද කළ රමේෂ් මෙන්ඩිස් තම සීමාවෙන් ඉවතට පැමිණ පහරක් ගැසීමට උත්සාහ කළ බැවින් පහසු ස්ටම්ප් කිරීමකට ගොදුරු විය. ඒ නවුමන් අලීගේ හත්වැනි කඩුල්ලයි.
නවුමන් අලී මෙම තරගයේ පන්දු යැවූ සුවිශේෂී ආකාරය අනුව හත්වැනි කඩුල්ලත් ඔහු සතුවීම අරුමයක් නොවූ අතර ඇතැමුන්ගේ කුකුසට කාරණාවක් වූයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 10 ම දවාගැනීමට නවුමන් අලී සමත්වේද යන්නයි. එහෙත් රමේෂ් මෙන්ඩිස් දැවී යාමත් සමගින් පන්දු 6 ක් ඇතුළතදී ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක තිදෙනාම දවාගත් නසීම් ෂා ලකුණු 188 දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට නැවතීමේ තිත තැබීය.
පාකිස්තානුවන්ට ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයක් ලැබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.