Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු පන්දු යැවීම ආරම්භවේ සිටම මොට කර දැමූ ඩෙවොන් කොන්වේ (122) ප්‍රමුඛ නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවෝ කරච්චියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වන අද විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට පාර කපා ගත්හ. එහෙත් තේ පානයෙන් පසුව ලකුණු 45 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත් පාකිස්තානු පන්දු යවන්නෝ නැවතත තරගයට අවතීර්ණ වූහ.
තරගයේ පළමු වැනි දිනය වන අද (02 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටියේය.
කරච්චි තණතීරුවේ තණකොළ කිසියම් ප්‍රමාණයක් තිබූ නමුත් එයින් පන්දු යවන්නන්ට නම් කිසිම වාසියක් අත්නොවීය. මෙම තත්ත්වය කල්තියාම දුටු හෙයින් දෝ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන්ම පිතිහරඹය තෝරා ගත්තේය.
ටොම් ලෙතම් සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක් එක්කළ කොන්වේ, එතැන් සිට නායක කේන් විලියම්සන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 100 ක් එක්කළේය. තේ පානය වන විට නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 226 ක් ලෙසිනි. එහෙත් තේ පානයෙන් පසුව 234, 240, 255, 278 සහ 279 දී කඩුලු දැවී යාමෙන් නවසීලන්තය සතුව තිබූ ආධිපත්‍යය තරමක් බිඳ වැටිණ.
වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට පිවිසි නමුත් දිවා ආහාරය වන තුරුත් පාකිස්තානයට එකම කඩුල්ලක් හෝ දවාගත නොහැකි විය. නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිවා ආහාරයට ගියේ ලකුණු 119 ක් පුවරුවට එකතු කිරීමෙන් පසුවය.
පළමු ටෙස්ට් තරගය මෙන්ම මෙම තරගයත් පැවැත්වෙන්නේ කරච්චියේ ජාතික ක්‍රීඩාංගණයේදීමය. පාකිස්තානය සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය තරග 2 කින් සමන්විත වන අතර පළමු තරගය පසුගිය සතියේදී ජය පරාජයෙන් තොරව නිමා විය.
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 6 ක් දැවී 309 යි
(ටොම් ලෙතම් 71, ඩෙවොන් කොන්වේ 122, කේන් විලියම්සන් 36, හෙන්රි නිකොල්ස් 26, ටොම් බ්ලන්ඩ්ල් නොදැවී 30, ඉෂ් සෝධි නොදැවී 11, නසීම් ෂා 44/2, අඝා සල්මාන් 55/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.