Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්

පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්

Nisanka Sandeepani - 2018 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකරාශී වීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියයි. වික්‍රමසිංහ මහතා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වෙයි. 
‘ද සන්ඬේ ටයිම්ස්’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ මේ වන විට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් බවට පත්ව සිටින, ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වා ඇති බවයි. 

මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම මෙන්ම සිදත් වෙත්තමුණි යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනකු මෙම කාර්යය සඳහා කර උර දීමට සූදානම් බවද වික්‍රමසිංහ මහතා පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානයටත් වඩා පහළට තල්ලු වී තිබේ. 

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යහමඟට ගැනීමේ සද්කාර්යය සඳහා දායක වීමට හිටපු ක්‍රීඩකයන් රාශියක් එක්රැස්වීමට සූදානම්. ක්‍රිකට් ක්‍රීඩවට වෙන්නේ මොකක්ද කියලා කතා කරන්න ඔවුන් සූදානම්. ඒ අය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සේවයට බඳවාගෙන සිටින ක්‍රීඩකයන් විශාල පිරිසක්ද සිටිනවා. ඒත් තමන්ගේ රැකියාව පිළිබඳ කොන්ත්‍රාත්තු නිසා ඔවුන් ඊට මඳක් පසුබානවා” 

“කොහොම වුණත් වැඩි කාලයක් යන්න ඉස්සරවෙලා ඒගොල්ලන් කට අරීවි”යයිද වික්‍රමසිංහ මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ. 

වික්‍රමසිංහ මහතා පවසන පරිදි වර්තමාන නිලවරණ ක්‍රමවේදය ඇතැම් දේශපාලනඥයන්ගේත් ක්‍රිකට් පරිපාලකයන්ගේත් උවමනා එපාකම් අනුව ඉතා සූක්‍ෂම ලෙසින් සකස් කරන ලද්දකි. ඒ අනුව මාධ්‍ය සහ වෙනත් ව්‍යාපාරවල නියුතු වූවන්ට තමන්ගේ කාර්යයන් කරගැනීමටත් ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමටත් අවශ්‍ය පරිසරය සකස් වී තිබේ. රටේ ඉතාමත් ඉහළ දේශපාලන තනතුරු දරන්නන්ගේ ආශිර්වාදයත් ඔවුන්ට (වර්තමාන ක්‍රිකට් නිලධාරීන්ට) හිමිවී තිබේ. 

“උදාහරණයක් වශයෙන් ගත්තොත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන වත්මන් තත්ත්වය ගැන දිගින් දිගටම විවේචනය කරන කෙනෙක් තමයි අර්ජුන රණතුංග. ඔහු වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමති තනතුරක් දරන අයෙක්. ඒත් එයාටවත් මේ තත්ත්වය වෙනස් කරන්න බලයක් නෑ” යයිද වික්‍රමසිංහ මහතා පවසා තිබිණ. 

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් මේ දිනවල රුපියල් බිලියන ගණනින් ලාභ පෙන්වූවද එම ලාබ ලැබුණේ 2014 දී අත්සන් කළ ඉදිරි සංචාර සැලැස්මේ ගිවිසුම් අනුව බවයි. 

වත්මන් ලාභ පෙන්වීමේදී කැපී පෙනන එකම ලාභය වන්නේ නිදහස් කුසලාන තරගාවලියේදී ලැබූ ලාභය නමුත් එම තරගාවලියේ අවසන් තරගයට හෝ සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වූ බවද වික්‍රමසිංහ මහතා පැවසීය. 

“මෑතකදී ක්‍රීඩා නීතියේ වෙනස්කම් කිහිපයක්ම කළා. ඒවායින් සමහරක් කළේ කෙළින්ම ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන පරිදියි. ඒත් ක්‍රීඩාවෙන්  සමුගන්නා ක්‍රීඩකයකුට නැවතත් ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි පරිදි මේ ඇමතිවරු කිසිදෙයක් කරලා තියෙනවාද ?” හිටපු ආරම්භක පන්දු යවන්නා විමසයි. 

“ඒ වෙනුවට ඔවුන් කරන්නේ හිටපු ක්‍රීඩකයන් එළියේ තියන්න ඕනෑ අණ පනත් ක්‍රියාත්මක කරන එකයි” යන්න ඔහුගේ අදහසයි. 
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඬ නැංවිය යුතු බවයි. නැතහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගත නොහැකි තරමේ අගාධයක ගිළෙනු ඇති බවද ඔහු කියයි. 

“අපි දන්නවා එක අවස්ථාවකදී අගමැතිතුමන් මේකට විසඳුමක් දෙන්න හැදුවා. ඒත් අන්තිම තත්පරේදි ඒකට බාධා කෙරුණා” යයිද ඔහු කීවේය. 

ක්‍රිකයි ක්‍රීඩාව වැටී ඇති වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හිටපු ක්‍රීඩකයන්ගේ ආයාචනය වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. 

“අපි බලාපොරොත්තු වෙන්නේ කිසියම් කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාමට කමිටුවක් (මා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටුවක්) පත්කිරීමයි. ඊට පස්සේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. එවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පුළුවන් ඒ ගැන බලාගන්න” යයිද වික්‍රමසිංහ මහතා කීවේය. 

 

 


අදහස් (0)

පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.