Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරණි නැවියෝ නාවික හමුදාව පරදවති

පැරණි නැවියෝ නාවික හමුදාව පරදවති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගවාර ගණනාවක් පුරා එකම කඳවුරක දුකසැප බෙදාගත් ක්‍රීඩකයන් පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමග කරට කර සටනක නිරතවූ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසන් කළේ ලකුණු 27-24 ක තියුණු ජයග්‍රහණයකින් නාවික හමුදා පිල පරාජය කරමිනි.

පසුගිය තරග වාරයේදී නාවික හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 8 ක්ම මෙවර තරගවාරයේදී සී.එච්.පිල ශක්තිමත් කිරීමට එක්වී සිටි අතර කණ්ඩායම ගොඩනැඟීමේ වගකීම කරපින්නාගත් රෝහිත රාජපක්ෂ සිය පැරණි මිතුරන්ට ආරාධනා කර තිබිණ. සී.එච්.පිලේ ජයග්‍රහණ රැසකට උරදුන් යෝෂිත රාජපක්ෂද කලක් නාවික හමුදා පිල මෙහෙයවූ ක්‍රීඩකයෙකි.

සැමුවෙල් මධුවන්ත දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සීි.එච්.පිල ලකුණු 3-0 කින් ඉදිරියට ගෙනයාමෙන් මිනිත්තු දහයකට පසුව රෝලිං මෝල් අවස්ථාවකින් පන්දුව ඩැහැගත් යෝෂිත රාජපක්ෂ අගනා උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමට මධුවන්ත සමත්වීමෙන් තරගයේ 25 වැනි මිනිත්තුව දක්වාම ලකුණු 10-0 කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිල සමත්විය.

අනතුරුව දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ මෙවර තරගාවලියේ වැඩිම සමස්ත ලකුණුලාභියා වන තිළිණ වීරසිංහ නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ දැමුවේය. ඊට මිනිත්තු අටකට පසුව බුද්ධිම පියරත්න විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් නාවික හමුදා කණ්ඩායම ලකුණු 12-10 ක් ලෙස පළමු භාගයේ පෙරමුණට ගෙන ගියේය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම සසංක ආරියරත්න තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ මධුවන්ත සී.එච්.පිල ලකුණු 17-12 කින් නැවතත් පෙරමුණට ගෙනාවේය. නාවික හමුදා පිලට දැඩි අභියෝගයක් වෙමින් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ සී.එච්. පිල වෙනුවෙන් තරගයේ 60 වැනි මිනිත්තුවේදී තමා විසින්ම තැබූ අගනා උත්සාහක දිනුමකින් ගෝලයක් ගෙනදීමට මධුවන්ත සමත්වීමත් සමග ලකුණු 24-12 කින් ඉදිරියට ගියේය.

පරාජයේ සෙවණැලි අතරින් නැවත නැගී සිටීමට නාවික හමුදා පිල ගත් ප්‍රබල වෑයමට තල්ලුවක් දුන් තනූජ මාලිම්බඩ ඊට මොහොතකට පසුව උත්සාහක දිනුමකින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දැමුවේ ලකුණු පුවරුව 24-17 ක් ලෙසින් වෙනස් කරමිනි.

තරගය නිමාවීමට මිනිත්තු දහයකට පෙර දඬුවම් පහරක් සාර්ථක කළ මධුවන්ත සී.එච්. පිල ලකුණු 27-17 කින් ඉදිරියට ඇදගෙන ගියේය. අවසන් මොහොතේ මොහොමඞ් අබ්සාල් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කෙරුණත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

 

 

 

අදහස් (0)

පැරණි නැවියෝ නාවික හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.