Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීඩනය ශ්‍රී ලංකාව වෙතට
තුන්වැනි එක්දින තරගය

පීඩනය ශ්‍රී ලංකාව වෙතට

editorial - 2023 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සටහන -  දමින්ද විජේසූරිය,  ඡායාරූපය - ඒ.එෆ්.පී )

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පසුගිය නොවැම්බරයේදී පැවැති එක්දි තරගාවලිය 1-1 ක් ලෙසින් සමවීම ඇෆ්ඝනිස්ථානය බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් නොවේ. මාස දෙක තුනකට ඉහතදී, ඕස්ටේ්‍රලියව පරාජය කරමින් 3-2 ක තරගාවලි ජයක් ලබා සිටි ශ්‍රී ලංකා පිල හමුවේ පළමු එක්දින තරගය (පසුගිය නොවැම්බරයේදී) ජයගත් ඇෆ්ඝනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි තරගය වර්ෂාවට සේදී ගියේය. එයින් ඇෆ්ඝනිස්ථානුවෝ තරගාවලි පරාජයකින් ගැලවුණහ. 

නොවැම්බරයේදී තුන්වැනි එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවද තරගාවලිය සමවීම නිසා එවර කුසලනය ඇෆ්ඝනිස්ථානයට ගෙන යාමට ශ්‍රී ලංකා නායකයාගෙන් අවසර ලැබිණ. 

එය එස් තිබියදී, මෙවර තරගාවලිය දැනටමත් සමවී ඇති බැවින්, උද්දාමයෙන් සිටින ඇෆ්ඝනිස්ථානුවෝ මේ වතාවේදී සූදානම් වන්නේ ශ්‍රී ලංකාව පරාජය කරමින් කුසලානය ඇෆ්ඝනිස්ථානයට ගෙන යාමටය. 

“ශ්‍රී ලංකාවට ඇවිල්ලා, ඒ ගොල්ලන්ගේම භූමියේදී ඔවුන්ව පරාජය කරන්න අපට පුළුවන් වුණොත්, ඒක අපට ලොකු ජයග්‍රහණයක් වේවි”යයි හශ්මතුල්ලා ශහිදි හම්බන්තොටදී අද (6 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 
ඇෆ්ඝනිස්ථානය මෙසේ කියන්නේ ආවාට ගියාට නොවේ. 

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව ඔවුන්ගේ ස්ථානය දිනෙන් දින ඉහළ යමින් පවතී. වසර දෙකකට ඉහතදී එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයේ සිටි ඇෆ්ඝනිස්ථානුවෝ මේ වන විට ශ්‍රී ලංකාවත් පසුකර ඉහළට යමින්, 8 වැනි ස්ථානයට පැමිණ සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරාවලියකට සහභාගි විය යුතුව ඇතත්, මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇෆ්ඝනිස්ථානය දැනටමත් සුදුසුකම් ලබා සිටී. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් කෙරේ විශ්වාසය රඳවා ඇත. 
“හැම වෙලාවෙම අපි සැලසුම් කරන්නේ හැම තරගයකදීම ලකුණු 300 ක් ලබාගැනීමටයි. ඒ කියන්නේ එක පන්දුවකට එක ලකුණක් ගානේ ලබාගැනීම. ඒත් ඒක හැම වෙලාවෙම වෙන්නේ නෑ. ඒක තරගය අනුවත්, තණතීරුවේ වෙනස්වීම අනුවත් රඳා පවතිනවා” 

“ඒත් ඒකට අපි පළමු ඕවර 30 හොඳින් ක්‍රීඩා කරන්න ඕනා. ඒ විතරක් නෙමේ, කඩුලුත් අතේ තියාගන්න ඕනා. එතන ඉඳන් තමයි අපි 300 ට යන්න ඕනේ” යයි ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද හම්බන්තොටදී පැවසීය. 

පරාජය වූ පළමු එක්දින තරගයේදී (02 වැනිදා) ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු 268 සඳහා මුහුණ දුන් පන්දු 300 න් පන්දු 158 ක් නිළකුණු පන්දු වූයේය. ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූයේ හයේ (1) සහ හතරේ (27) පහර එකතුව 28 කි. එහෙත් ජයග්‍රාහී දෙවැනි තරගයේදී (04 වැනිදා) ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 323 ක් ලබාගැනීමට මුහුණ දුන් පන්දු 300 දී නිළකුණු පන්දු සංඛ්‍යාව 135 දක්වා අඩුවෙද්දී හයේ (4) සහ හතරේ (32) පහර සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබිණ. 

ශ්‍රී ලංකාවට සැලසුම් එකකට වඩා තිබෙන නමුත් ඒවා සියල්ලම පහසු නොවේ. 
එක්දින අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනාගෙන් තිදෙනෙක් ඇෆ්ඝනිස්ථානුවෝ වෙති. රෂීඩ් ඛාන් (6), මුජිබුර් රහීම් (8) සහ මොහොමඩ් නබී (9) තිදෙනාම අද තරගයේදී ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් පෙනී සිටින නමුත් එක්දින පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන වනිඳු හසරංගට හිමිව ඇත්තේ 30 වැනි ස්ථානයයි. පිතිකරුවන් අතරේ වුවද ඇෆ්ඝනිස්ථානුවන් තිදෙනකු ඉහළින් සිටියදී ශ්‍රී ලාංකිකයකුගේ හොඳම ස්ථානය වන්නේ චරිත් අසලංකට හිමි 46 වැනි ස්ථානයයි. 

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් පළමු තරග දෙකටම ක්‍රීඩා කළ නොහැකි වූ පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් අද තරගයේදී ක්‍රීඩා කිරීමේ ඉඩක් තිබේ. මෙම කරුණු පදනම් කරගනිමින් ඇෆ්ඝනිස්ථානය ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු පොදි බඳිමින් සිටියදී ශ්‍රී ලංකාව පිතිකරුවන් වෙත බලාපොරොත්තු රඳවා තිබේ. 

එහෙත් පීඩනය එල්ල වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් වෙතය. 

 


අදහස් (0)

පීඩනය ශ්‍රී ලංකාව වෙතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.