Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසියෙන් අනපේක්‍ෂිත ප්‍රහාරයක්

පොලිසියෙන් අනපේක්‍ෂිත ප්‍රහාරයක්

Nisanka Sandeepani - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයේ මුල සිටම සුවපහසු ජයග්‍රහණයක් කරා යමින් සිටි සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි භාගයේදී එහෙම පිටින්ම අන්දමන්ද කළ පොලිසිය අනපේක්‍ෂිත ආක්‍රමණයක නිරත වූ නමුත් අවසන් මොහොතේදී සී.ආර්. ක්‍රීඩකයෝ යන්තම් ගැලවුණහ. රීසා රෆායිඩීන් තැබූ තීරණාත්මක උත්සාහක දිනුමකින් යළි නැගී සිටි රතු කමිස කාරයන් 33-31 ක අසිරු ජයග්‍රහණයකට හිමිකම් කීවද තරගයේ සියලු ගෞරව පොලිස් පිලට අත්විය යුතුය. 

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් වූ මෙම තරගය පොලිස් පිටියේදී පැවැත්විණ. 

තරගයේ ආරම්භයේදීම අගනා උත්සාහක දිනුමක් තැබූ නායක කවිඳු පෙරේරා සී.ආර්.පිල ලකුණු 5-0 කින් ඔසවා තැබුවේය. අනතුරුව 15 වැනි මිනිත්තුවේදී ප්‍රොප් ක්‍රීඩක ගයාන් ජයසේකර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තරින්ද රත්වත්ත සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 12-0 කින් ඉදිරියට ගෙන යාමට සමත්විය. පොලිස් පිල ලකුණු ලබාගැනීම ආරම්භ කළේ 17 වැනි මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් සංදේශ් ජයවික්‍රම සාර්ථක කිරගැනීමෙනි. 

ඊට මඳ වේලාවකට පසුව අංක 8 ක්‍රීඩක ඕමල්ක ගුණරත්න තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් පසුව ආපසු නොහැරෙන ආකාරයෙන් ජයග්‍රහණය කරා යාමේ ගමන ඉක්මන් කළ සී.ආර්.පිල ලකුණු 19-3 කින් ඉදිරියට ගියේය. එහෙත් 26 වැනි මිනිත්තුවේදී තරගය පොලිස් පිලේ වාසියට හැරුණේ රීසා රෆායිඩීන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව හමුවේ තරග තීරකවරයා දඬුවම් උත්සාහක දිනුමක් ලබාදීම හේතුවෙනි. ඒ සමගම පොලිස් පිල ලකුණු 19-10කින් පරතරය අඩුකර ගත් අතර රෆායිඩීන් කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්විය. 

පළමු භාගය නිමාවීමට පෙර ලකුණු 26-10 කින් තරගයේ පාලනය නැවත සියතට ගැනීමට රතු බැනියම්කාරයන් සමත්වූයේ ඕමල්ක ගුණරත්න තැබූ දෙවැනි උත්සාහක දිනුම තරින්ද රත්වත්ත විසින් සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමත් සමගිනි. 

අපූරු සැලසුමක් අතැතිව දෙවැනි භාගයේ දී පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ පිට පිට උත්සාහක දිනුම් දෙකක්ම තබමින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේද නළල්තල රැලි ගැන්වීමට සමත්වීමත් සමග තරගය දෙපිලටම විවෘත එකක් බවට පත්විය.

එහෙම පිටින්ම වෙනස් ආකාරයේ කණ්ඩායමක් ලෙස පොලිස් පිල පෙන්වූ මේ පෙරළිකාර ක්‍රීඩා විලාශය සී.ආර්.පිල මොහොතකට දැඩි පසුබෑමකට ලක් කළේය. පළමුව 53 වැනි මිනිත්තුවේදී ඉරෝෂන් සිල්වාත්. අනතුරුව 65 වැනි මිනිත්තුවේදී වාජිඞ් ෆවුමිත් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් දෙකම සංදේශ් ජයවික්‍රම ගෝල බවට ප්‍රවර්තනය කිරීමෙන් පසුව ලකුණු පරතරය 2 දක්වා අඩුවූයේ 26-24ක් ලෙසිනි. 

ඒ වෙද්දී තරගය නිමාවීමට ඉතිරිව තිබුණේ ද මිනිත්තු 15ක කාලයක් පමණි. පොලිස් පිලේ විස්මිත ක්‍රීඩා විලාසයෙන් අන්දමන්දවී ගිය රතුබැනියම් කාරයන් ඊළඟට ක්‍රීඩා කළේ මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් නොමැතිව ලකුණු සටහනේ අඩියේ සිටි පොලිස් පිල හමුවේ සිදුවිය හැකි පරාජයේ අවමානයෙන් ගැලවීමටය. 

කළබලය මැද සී.ආර්.පිලේ ක්‍රීඩකයන් වෙතින් සිදුවූ නීති විරෝධී ක්‍රීඩා රටාව නිසා දඬුවම් පහර 3ක්ම පොලිස් පිලට ලැබිණි. එහෙත් ඒවා සාර්ථක කරගැනිමට සංදේශ් ජයවික්‍රමට හැකිවූයේ නැත. එසේ නොවුවානම් පොලිස් පිලට සිය මංගල ජයග්‍රහණයේ සව්දිය පුරන්නට ඉඩ තිබිණි. 

තරගය නිමාවීමට මොහොතකට පෙර රීසා රෆායිඩීන් තීරණාත්මක උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්තනය කර සී.ආර්. පිල ලකුණු 33-24කින් ඉදිරියට ගෙන ගියේ පරාජයේ සෙවැණැල්ල තුරන් කර දමමිනි. 

අවසන් මොහොතේ සංදේශ් ජයවික්‍රම විස්මයජනක උත්සාහක දිනුමක් තබමින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළත් පොලිස් පිලට පරාජයෙන් බේරීමට නම් කාලයක් ඉතිරි නොවීය.

තරගාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - වරුණ කරුණාසේකර

 


අදහස් (0)

පොලිසියෙන් අනපේක්‍ෂිත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.