Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසියට සැනසුම් සුසුමක්

පොලිසියට සැනසුම් සුසුමක්

Nisanka Sandeepani - 2018 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ජයග්‍රහණ ඉඩෝරයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි පොලිස් ක්‍රීඩා සමාජය අන්තිමේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 18-12 කින් පරාජය කරමින් සිය පිපාසය සංසිඳුවා ගත්තේය.

තරගාවලිය නිමාවීමට තවත් සති දෙකක් පමණක් ඉතිරිව තිබුණත් සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලිය නිමා වීමට පෙර සැනසුම් සුසුමක් හෙළීමට පොලිස් ක්‍රීඩකයෝ සමත්වූහ. 

තරගාවලියේ ආරම්භයේදී දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි පොලිස් පිල සෙසු කණ්ඩායම්වලට අභියෝග ගෙන දෙන ප්‍රතිවාදීන් බවට පත්වූයේ දෙවැනි වටයේ සිටය.

විශේෂයෙන් පසුගිය සතියේ දී තරගාවලියේ එතෙක් දෙවැනි තැන රැකගෙන සිටි හැව්ලොක්ස් පිල බිමට තුන්වැනි තැනට ඇද දමමින් තරගය සමකරගැනීමට සමත්වූ පොලිස් පිල ඊයේ පොලිස් පිටියේදී ගුවන් හමුදා පිල පරාජය කිරීමට කදිම උත්තේජනයක් ලබා තිබිණි. 

පළමු වටයේ දී ගුවන් හමුදා පිල හමුවේ ලකුණු 15-5 කින් පරාජය වූ පොලිස් පිල ඊයේ තරගයේදී ඊට නිසි ප්‍රතිචාර දුන්නේය. 

සංදේශ් ජයවික්‍රම සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ පොලිසියට ප්‍රති උත්තර දුන් ගුවන් හමුදා පිල රුමේෂ් රාම්දාස් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 5-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව සුරංග කසුන් තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සංදේශ් ජයවික්‍රම ලකුණු 10-5 කින් පොලිස් පිල ඉහළට ඔසවා තැබුවේය. 

තරගයේ පළමුභාගය නිමාවනතුරු ගුවන් හමුදා පිල ඇද බැඳ තබාගත් පොලිස් ක්‍රීඩකයෝ වාජිඞ් ෆවුමි තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු 15-5 කින් පෙරමුණ රැක ගත්හ. 

දෙවැනි භාගය ආරම්භයේදී නුවන් පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිල ලකුණු 12 කින් ඉදිරියට ගෙන ගියේය.

එහෙත් සංදේශ් ජයවික්‍රම සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 18-12 කින් ඉදිරියට ගිය පොලිස් පිල තරගය නිමාවන තුරුම ප්‍රතිවාදින්ගේ බෙල්ලෙන් අල්ලා සිරකර ගනිමින් පළමු ජයග්‍රහණයට හිමිකම් කීවේය.

ඡායාරූප : වරුණ කරුණාසේකර

 


අදහස් (0)

පොලිසියට සැනසුම් සුසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.