Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ ‘ඒ’ පිල 167 කට දැවී යයි

බංග්ලාදේශ ‘ඒ’ පිල 167 කට දැවී යයි

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භවූ තෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 78 ක් රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට පළමු ඉනිමේදී රැස්කළ හැකිවූයේ ලකුණු 167 ක් පමණි. මේ වන විට කඩුලු 7 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම බංග්ලාදේශ ‘ඒ’ පිලට වඩා ලකුණු 89 ක් පසුපසින් සිටී. 

සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක සම්බන්ධතාවයක් පවත්වමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින ෂෙහාන් ජයසූරිය ලකුණු 53 ක් රැස්කර සිටී. වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවන ෂෙහාන් ජයසූරිය පන්දු 51 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

අවසන් තරග දෙකේදී නායකත්ව දැරූ දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණි අතර තෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ළහිරු තිරිමාන්නට හිමිවී තිබේ. පළමු තරග දෙකේදී ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු තිරිමාන්න ලකුණු 12 ක් ලබාසිටියදී නයීම් හසන්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

සධීර සමරවික්‍රම ලකුණු 5 ක් ලබාසිටියදී සෞම්‍ය සර්කාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය අතර අෂාන් ප්‍රියංජන්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොදෙමින් දවාගැනීමට මුස්ටෆීසූර් රෙහ්මාන් සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් පළමු ඉනිම ලකුණු 167 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. පිට දඟපන්දු යවන්නකු වන ෂෙහාන් ජයසූරිය, වමත් දඟපන්දු යවන්නන් වන මාලින්ද පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින්ද වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කඩුල්ලක්ද දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවෝ දමනය කළහ. 

ලකුණු 105 කට කඩුලු 7 ක් දැවී ඉතා අසරණවී සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ඉන් තරමක් දුරට මුදවා ගැනීමට සුන්සමුල් ඉස්ලාම් සහ නයීම් හසන් සමත්වූහ. අටවැනි කඩුල්ල සඳහා සුන්සමුල් ඉස්ලාම් සහ නයීම් හසන් එක්ව ගොඩනැගූ ලකුණු 54 ක සම්බන්ධතාවය හේතුවෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ලකුණු 150 සීමාව පසුකිරීමට අවස්ථාව හිමිවිය.

සකීර් හසන් ලකුණු 42 ක් රැස්කරමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සුන්සමුල් ඉස්ලාම් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්විය.


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ පිල 167 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.