Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය අවසන් මහ තරගයට

බංග්ලාදේශය අවසන් මහ තරගයට

Nisanka Sandeepani - 2018 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අද (23 වැනිදා) පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම කුමක්දැයි යන්න ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අනිද්දා (25 වැනිදා) පැවැත්වෙන තරගයෙන් අනතුරුව තීරණය වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 36.3 ක් අවසානයේ ලකුණු 125 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සකීබ් අල් හසන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත් අතර සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් නායක මෂ්රෆී මොටාසා, සුන්සමුල් ඉස්ලාම් සහ මුස්තෆිසුර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවී යෑම සිම්බාබ්වේ කණ්ඩායමට විශාල පාඩුවක් විය. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සිකන්දර් රාසා පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළ අතර නායක ග්‍රේම් ක්‍රීමර් පන්දු 31 කදී ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණ අතර එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 150 කදී ලකුණු 106 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ ටමීම් ඉක්බාල් (76) සහ සකීබ් අල් හසන් (51) බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ. පන්දු 105 කට මුහුණදුන් ටමීම් සිය 41 වැනි අර්ධ ශතකය හතරේ පහර 6 කින් අලංකාර කළ අතර පන්දු 80 කදී වාර්තා වූ සකීබ්ගේ 37 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

ඔවුන් දෙදෙනා හැරුණු කොට අන් කිසිඳු බංග්ලාදේශ පිතිකරුවෙක් ලකුණු 20 සීමාව පසුකර යෑමට අපොහොසත් වූ අතර ඔවුන් අතරින් පස් දෙනෙක්ම ලකුණු 10 සම්පූර්ණ කිරීමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. සුන්සමුල් ඉස්ලාම් හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද, මුස්තෆිසුර් රෙහෙමාන් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායක වූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර්, ලකුණු 32 කට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සිවුදෙනෙක් දවාගත්තේ නායක මෂ්රෆී මොටාසාගේ කඩුල්ලද සමගිනි. ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා ඔහුගේ පන්දු හමුවේ දැවීගිය සෙසු ක්‍රීඩකයෝ වූහ. බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ක්‍රීමර්ට අනගි සහායක් දුන් කයිල් ජාවිස් ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගත්තේය.

බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 216
(ටමීම් ඉක්බාල් 76, සකීබ් අල් හසන් 51, මුෂ්ෆිකුර් රහීම් 18, සුන්සමුල් ඉස්ලාම් 19, මුස්තෆිසුර් රෙහෙමාන් නොදැවී 18, ග්‍රේම් ක්‍රීමර් 32/4, කයිල් ජාවිස් 42/3)

සිම්බාබ්වේ - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 125
(සිකන්දර් රාසා 39, ග්‍රේම් ක්‍රීමර් 23, සකීබ් අල් හසන් 34/3, මුස්තෆිසුර් රෙහෙමාන් 16/2, සුන්සමුල් ඉස්ලාම් 28/2, මෂ්රෆී මොටාසා 29/2)

-036 


අදහස් (0)

බංග්ලාදේශය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.