Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බටහිර සුළඟ සැරට හමයි

බටහිර සුළඟ සැරට හමයි

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද, ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගාවලියට ඉතාමත් සටන්කාමී අවසානයක් එක්කරමින් අසරු ‘විවේක්’ විසින් මෙහෙයවන ලද ‘වෙස්ටන් වින්ඩ්’ ආණ්ඩුකාර කුසලන දිනාගත්තේය. වෙස්ටන් වින්ඩ් (බටහිර සුළඟ) යනුවෙන් හැඳින්වෙන තුරඟා මෙවර ආණ්ඩුකාර ශූරතාව දිනාගත්තේ පිට පිටම දෙවරක් ශූරතාව දිනා සිටි ‘අල්කසබා’ වෙළඹ සහ අවසන් වරට ශූරතාව දිනා සිටි ‘ස්පිරිටඩ් ටච්’ තුරඟාද පසුපසට ඇද දමමිනි.

වසර 145 ක ඉතිහාසයක් ඇති ආණ්ඩුකාර කුසලාන තරගය මෙවර මීටර් 1800 ක දුරකින් සමන්විත වූ අතර ආරම්භයේ සිටම එහි පෙරමුණ ගැනීමට ‘වෙස්ටන් වින්ඩ්’ සමත් විය. අසුන් 9 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේදී ‘වෙස්ටන් වින්ඩ්’ ජයග්‍රහණය කරා මෙහෙයවමින් අසුගේ හිමිකරුවන් වන ගාමිණී ජයරත්න යුවළගේ ආයෝජනයට ඉහළ අගයක් එක්කිරීමට අසරුවා ලෙස කටයුතු කළ විවේක් සමත් වූයේය.
 
ආරම්භයේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළ ‘අල්කසබා’ වෙළඹ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙන ඒමට අසරුවා ලෙස කටයුතු කළ ජේ. චිනෝයි සමත් වූවද ඔහුට තරගයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. අවසන් වරට ආණ්ඩුකාර කුසලානයට හිමිකම් කී ‘ස්පිරිටඩ් ටච්’ තුරඟාද ආරම්භයේ සිටම ‘වෙස්නට් වින්ඩ්’ ට සහ ‘අල්කසබා’ ට හොඳ තරගයක් දුන් නමුත් අවසානයේ තෙවැනියා ලෙස තරගය නිමා කළේ අසරුවා ලෙස කටයුතු කළ කේ. අනීල්ගේ සටන්කාමී අසු පැදවීමක් නිමා කරමිනි.

‘වෙස්ටන් වින්ඩ්’ගේ එම ජයග්‍රහණයත් සමග වසර 5 කට පසුව නැවතත් ආණ්ඩුකාර කුසලානය තමන් සතු කරගැනීමට ජයරත්න අශ්වගාල සමත් වූයේය. අවසන් වසර 5 තුළදී එඩ්වඩ්ස් අශ්වගාල අවස්ථා 3 කදීද, ෆියර්ලස් අශ්වගාල එක් අවස්ථාවකදීද එම කුසලාන සතුකරගත්තේය.

ආණ්ඬුකාර කුසලාන තරගයට පෙර පැවැති රැජින කුසලාන තරගයේදී විවේක් විසින් ජයරත්න අශ්වගාලට මෙවර තරගාවලියේ පළමු ජය අත්කර දෙනු ලැබුවේ හසංග ජයරත්න මහතා හිමිකාරීත්වය දරණ ‘අනදර් ඒස්’ අසු මෙහෙයවමිනි. රැජින කුසාලනය පිට පිටම ජයරත්න අශ්වගාලට හිමිවූ තෙවැනි අවස්ථාව මෙයයි.

මීටර් 2000 ක දුරකින් සමන්විත වූ රැජින කුසලාන තරගයේදී ‘සිල්වර් ස්ටී්‍රක්’, ‘ස්ටාර් ස්කොලර්’ සහ ‘අනදර් ඒස්’ යන අසුන් තිදෙනා අතර තියුණු සටනක් නිර්මාණය විය. කෙසේ වුවත් අවසන් මොහොතේදී ඇසි පිය හෙළන සැනින් ‘සිල්වර් ස්ට්‍රික්’ අසු සහ ස්ටාර් ස්කොලර් අසු පසුකර ජයටැඹ වෙත ‘අනදර් ඒස්’ රැගෙන යෑමට අසුරුවා ලෙස කටයුතු කළ විවේක් සමත් විය. ‘සිල්වර් ස්ටී්‍රක්’ අසු දෙවැනියා ලෙසත්, ‘ස්ටාර් ස්කොලර්’ අසු තෙවැනියා ලෙසත් එම තරගය නිමා කළහ.

මෙවර තරගාවලියේදී එඩ්වඩ්ස් අශ්වගාලට හිමිවූ එකම ජයග්‍රහණය ලබාදීමට ජේ. චිනෝයි විසින් මෙහෙවන ලද ‘ග්ලිටරින්’ අසු සමත් වූයේ නගරාධිපති කුසලාන තරගය ජයගනිමිනි.

මිටර් 1600 දුරකින් සමන්විත වූ එම තරගයේදී එස්.ඩී. ජානක විසින් මෙහෙයවන ලද ‘විගරස්’ අසු දෙවැනි ස්ථානයටත්, කේ. අනීල් විසින් මෙහෙයවන ලද ‘ඔලිව්’ අසු තෙවැනි ස්ථානයටත් ඇද දැමීමට ‘ග්ලිටරින්’ අසු සමත් විය.

මීටර් 1400 ක දුරකින් සමන්විත වූ වෙජිබෙස්ට් ජාත්‍යන්තර කුසලාන තරගය ජය ගැනීමට කේ. අනීල් විසින් මෙහෙවන ලද ‘හොනෝරියස්’ අසු සමත් වෙද්දී, එම දුර ප්‍රමාණයෙන්ම සමන්විත වූ තවත් තරගයක් වන ක්‍රීඩා අමාත්‍යංශ අභියෝග කුසලාන තරගයේ ජය අත්කර ගැනීමට කේ. සංජීවන් විසින් මෙහෙයවන ලද ‘මිස් අයිවරි’ වෙළඹ සමත් වූවාය.

‘හොනෝරියස්’ අසු ෆියර්ලස් අශ්වගාලට අයත් තුරඟකු වූ අතර ‘මිස් අයිවරි’ වෙළඹට කෝසල සේනාරත්න මහතා හිමිකාරීත්වය දරයි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගමක් එක්ස්පෝ ලංකා පුද්ගලික සමාගමේ සාමාජිකයකු වන ඊ.එෆ්.එල්., ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ පළමු වරට ආණ්ඬුකාර කුසලාන තුරඟ තරගාවලියට අනුග්‍රාහක දායකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටියේය.

වසන්ත සමයේ නිමාව සනිටුහන් කරමින් මේ මස 24 වැනි සෙනසුරාදා මැජික් මිලියන් කුසලාන තරගාවලිය පැවැත්වීමටද රාජකීය තුරඟ තරග සමාජය කටයුතු යොදා ඇත.


තරග ප්‍රතිඵල


ක්‍රීඩා අමාත්‍යංශ අභියෝග කුසලාන තරගය (මීටර් 1400)
1 මිස් අයිවරි - කේ. සංජීවන් - කෝසල සේනාරත්න මහතා
2 වේටිං ෆෝ ග්ලෝරි - ආර්. වයිභාව් - හසංග ජයරත්න මහතා
3 ගෝලිඩි ගර්ල් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල

 


වෙජිබෙස්ට් ජාත්‍යන්තර කුසලාන තරගය (මීටර් 1400)
1 හොනෝරියස් - කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල
2 ටොපිඩෝ - කේ. සංජීවන් - ෆියර්ලස් අශ්වගාල
3 සූලූ ෆැන්ටසි - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල  

 

 


නගරාධිපති කුසලාන තරගය (මීටර් 1600)
1 ග්ලිටරින් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල  
2 විගරස් - එස්.ඩී. ජානක - අජන්ත ද සොයිසා මහතා
3 ඔලිව් - කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල

 


රැජින කුසලාන තරගය (මීටර් 2000)
1 අනදර් ඒස් - විවේක් - හසංග ජයරත්න මහතා
2 සිල්වර් ස්ටී්‍රක් - එල්. දයාලන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා
3 ස්ටාර් ස්කොලර් - ආර්. වයිභාව් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය

 

 


ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1800)
1 වෙස්ටන් වින්ඩ් - විවේක් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය
2 අල්කසබා - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල
3 ස්පිරිටඩ් ටච් - කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල

 


අදහස් (0)

බටහිර සුළඟ සැරට හමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.