Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බට්ලර් යළිත් එංගලන්ත ටෙස්ට් පිලට

බට්ලර් යළිත් එංගලන්ත ටෙස්ට් පිලට

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සහ තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩොමිනික් බේස් කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

එංගලන්තයේ ලැන්කර්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරන ජොස් බට්ලර් මේ වසරේදී එරට පළමු පෙළ තරග සඳහා සහභාගි නොවුණද, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග 13 කදී අර්ධ ශතක 5 ක් සමග ලකුණු 548 ක් රැස්කිරීමට සමත්ව තිබේ. 

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 18 කට ක්‍රීඩාකර ඇති බට්ලර්, අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වී ඇත්තේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදීය. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බට්ලර් අංක 7 ස්ථානයේ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී ඔහු කඩුලු රැකීමේ කාර්යයේ නිරත නොවනු ඇත. 

මහපට ඇගිල්ලේ අස්ථි පිපිරීමකට ලක්වීම නිසා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති අතර ඔහුගේ හිඩැස පිරවීම සඳහා 20 හැවිරිදි ඩොමිනික් බේස් එංගලන්ත සංචිතයට කැඳවා තිබේ. සමර්සේට් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග 16 කට ක්‍රීඩා කර ඇති බේස්, එහිදී කඩුලු 63 ක් දවාගැනීමට සමත් වී තිබේ. 

ප්‍රාන්ත ක්‍රිකට් තරගවලියේදී සරේ ප්‍රාන්තයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු මාර්ක් ස්ටොනෙමන් මෙවර තරගවාරයේ ඉනිම් 7 ක් තුළදී එක් වරක් හෝ ලකුණු 30 සීමාව ඉක්මවා ලකුණු රැස්කර නොමැති වුවද, තවදුරටත් ඔහුට එංගලන්ත කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ. 
පසුගිය සමයේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙස ක්‍රිඩා කළ ජේම්ස් වින්ස්ට මෙම තරගාවලියේදී සිය ස්ථානය අහිමි වී ඇති අතර ඔහුගේ හිඩැස පිරවීම සඳහා නායක ජෝ රූට් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට නියමිතය. 

ඒ අනුව ඬේවිඞ් මැලන් පස්වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වාද, කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ හයවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වාද, තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හත්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වාද පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබනු ඇත. 

එංගලන්ත සංචිතය 
ජෝ රූට් (නායක), ඇලිස්ටෙයාර් කුක්, මාර්ක් සේටොනෙමන්, ඬේවිඞ් මැලන්, ජොනී බෙයාස්ට්‍රෝ, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඞ්, ස්ටුවට් බ්‍රෝඞ්, ජෙම්ස් ඇන්ඩර්සන් සහ ඩොමිනික් බේස් 

-036


අදහස් (0)

බට්ලර් යළිත් එංගලන්ත ටෙස්ට් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.