Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රැඩ්බි පළිහ රැකගැනීමේ පළමු සටන

බ්‍රැඩ්බි පළිහ රැකගැනීමේ පළමු සටන

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සහ මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම අතර සුප්‍රකට බ්‍රැඞ්බි තරගාවලියේ පළමු අදියරේ තරගය මේ මස 21 දා පස්වරු 4.30 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වෙයි. මෙවර 74 වැනි වරට පැවැත්වෙන බ්‍රැඞ්බි පළිහ තරග ද්විත්වයේ පළමුවැන්න අන්තර් පාසල් පළමුපෙළ රග්බි තරගාවලියට ඇතුළත් වූවත් මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැන්න අන්තර් පාසල් පළමුපෙළ රග්බි තරගාවලියට ඇතුළත් නොවේ. 

අන්තර් පාසල් රග්බි තරගාවලිය ආරම්භ වීමට බොහෝ කලකට පෙර ආරම්භ වූ බ්‍රැඞ්බි පළිහ තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ අදියර දෙකේදීම ලබාගන්නා වැඩිම ලකුණු අනුවය. 

සියවසකට වඩා දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා රග්බි ක්‍රීඩාවේ නිරතවෙන මේ පාසල් දෙක අතර මංගල රග්බි තරගය 1920 වසරේ ජූලි මස 31 දා තර්ස්ටන් පාරේ (වත්මන් විශ්ව විද්‍යාලය ක්‍රීඩාංගණයේ) පවත්වා තිබේ. එහිදී ලකුණු 26-0 කින් ජයග්‍රහණය අත්කර ගත්තේ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමයි. 

එතැන් සිට වාර්ෂික විශේෂාංගයක් ලෙස පැවැති මෙම විද්‍යාලාන්තර රග්බි තරගයේ ඊළඟ වසර 21 පුරාම ආධිපත්‍ය පතුරුවාලීමට සමත්වූයේ ද ත්‍රිත්ව විදුහල් කණ්ඩායමයි. රාජකීය විදුහලට මංගල ජයග්‍රහණය සඳහා 1941 වනතුරු බලා සිටීමට සිදුවිය. එවර තරගය රාජකීයයන් ලකුණු 11-3 කින් ජයග්‍රහණය කළේ එන්. එන්. ජිල්ලාගේ නායකත්වය යටතේය.

බ්‍රැඞ්බි පළිහ කරළියට එක්වන්නේ 1945 දී එවකට රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ. එල්. බ්‍රැඞ්බි මහතා දෙවිදුහල අතර තරග 2 කින් සමන්විතව වාර්ෂික විශේෂාංගයක් ලෙසින් මේ තරගය පැවැත්විය යුතු බවට යෝජනා කිරීමත් සමගය. එවකට ත්‍රිත්ව විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඊ. සිමිත්‍රාරච්චි මහතා ඊට එකඟවීමෙන් මේ රග්බි සංග්‍රාමයට නව ජීවයක් එක්විය.

ඉන් නොනැවතුණු බ්‍රැඞ්බි මහතා තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමීමට පළිහක් ද පරිත්‍යාග කළේය. පසුව එය බ්‍රැඞ්බි පළිහ බවට පත්විය. එවර සී. ඒ. ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග වැදුණු රාජකීය විදුහල් කණ්ඩායම මංගල බ්‍රැඞ්බි තරගාවලියේදී ත්‍රිත්ව විදුහල හමුවේ පරාජයට පත්විය. එවර ත්‍රිත්ව විදුහල් පිල අදියර දෙක වෙනුවෙන් නායකයන් දෙදෙනකු පත් කර තිබිණි. පළමු අදියරේදී ආර්.ජී.සොර්ජා ත්‍රිත්ව පිලේ නායකත්වය දැරූ අතර දෙවැනි අදියරේදී එස්.බී.පිලපිටිය විසින් ත්‍රිත්ව පිල මෙහෙයවන ලදි. 

වසර 1948 දී ඒ. ඒ. කාදර්ගේ නායකත්වයෙන් පළමුවරට රාජකීය විදුහල බ්‍රැඞ්බි පළිහ දිනාගත්තේය. 

එදා මෙදා තුර වැඩිම කාලයක් බ්‍රැඞ්බි පළිහට හිමිකම් කීමට සමත්වූයේ ත්‍රිත්ව විදුහලයි. ඔවුන් මේ ගතවූ වසර 73 ක කාලයේදී 39 වතාවක් බ්‍රැඞ්බි පළිහ දිනාගනිද්දී රාජකීය විදුහල එය අත්පත් කරගත්තේ වසර 32 කදි පමණි. 1992 සහ 2016 දී පැවැති තරග ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

සමස්ත ජයග්‍රහණ වාර්තාවේදී පසුපසින් සිටියද පසුගිය වසරේදී ඔවින් අස්කේගේ නායකත්වයෙන් ජයගත් බ්‍රැඞ්බි කිරුළ රැක ගැනීමේ අරමුණින් මෙවර රාජකීය කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ පාසල් තරග බිමේ අපරාජිත කණ්ඩායම ලෙසිනි. බ්‍රැඞ්බි පළිහ ඉතිහාසය පුරා කීර්තිනාමය රැක ගැනීමට ත්‍රිත්ව විදුහල් පිල සමත්වූවත් මෙවර තරග ද්විත්වයේදී වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ලීග් තරගාවලියේ දැනටමත් ඉදිරියෙන් පසුවන රාජකීයයන්ට බව විචාරකයෝ කියති. 

මෙවර ලීග් තරගාවලියේ මෙතෙක් පැවැති තරග හතරම රාජකීයයන් ජයගනිද්දී ත්‍රිත්ව විදුහල ජයගෙන ඇත්තේ තරග දෙකකින් පමණි. 
මෙවර තරගාවලියේදී රාජකීය විදුහල් පිලේ කැපී පෙනෙන වෙනස්කම වන්නේ ඔවුන්ගේ සුපුරුදු පුහුණුකරු සනත් මාටිස්ගේ ඉවත්වීමයි. ඔහු වෙනුවට මෙවර පාසල් තරග වාරයේ දී පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ මාටිස්ගේ සහායකයා ලෙස සිටි දුෂ්‍යන්ත් ලෙව්කේය. පසුගිය වසර කිහිපය පුරාම රාජකීය විදුහල් පිලේ ජයග්‍රහණයේ රහස බවට පත්වී තිබූ රෝලිං මෝල් අවස්ථාවෙන් උත්සාහක දිනුම් තැබීම මාටිස්ගේ ජනප්‍රියතම උපක්‍රමයයි. එය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට ලෙව්කේ සමත්වී ඇත්තේ එම උපායශීලී ක්‍රමවේදයට රාජකීයයන් ඉතා සාර්ථකව අනුගතවී ඇති බැවිනි. 

බ්‍රැඞ්බි පළිහ ඉතිහාසය පුරා දැඩි පරිශ්‍රමයකින් රැකගත් කීර්තිය යළි අත්කර ගැනීමේ නොතිත් ආසාවත්, පසුගිය වසරේදී ගිලිහී ගිය පළිහ නැවත සුරතට ගැනීමේ අරමුණත් නිසා ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන් පසුවන්නේද තරගය ආරම්භ වන තුරු ඉවසිය නොහැකි ආකාරයකිනි. 
විඟර් ක්‍රීඩක සාබිත් ෆෙරොස්, සෙන්ටර් ක්‍රීඩක ජනිඳු ඩිල්ෂාන්, සෙන්ටර් ක්‍රීඩක තුලේබ් හසන්, අංක 8 ක්‍රීඩක ඉෆ්හාම් ෆරීඞ් සහ මෙවර තරගාවලියේ මෙතෙක් සාර්ථකම සමස්තලකුණු ලාභියා ෆුල්බෑක් ක්‍රීඩක දුලාන් ගුණවර්ධන එක්ව බ්‍රැඞ්බ් පළිහ රැක ගැනීමේ උත්සාහය ඉදිරියට ගෙන යනු ඇත. 

අනෙක් අතට පසුගිය වසරේ දී ගිලිහී ගිය පළිහ යළි අත්පත් කරගැනීමේ අරමුණ ඇතිව පිවිසෙන ෆුල්බෑක් ක්‍රීඩක අවිශ්ක ශේක් සමග ෆ්ලයි හාෆ් ක්‍රීඩක අකිත සකලසූරිය, අංක අට ක්‍රීඩක ලෙනොක්ස් කල්‍යාණරත්න, වින්ග් ක්‍රීඩක රෙශාන් බණ්ඩාරනායකගේ දස්කම්වලින් ඉස්මතුවී සිටින ත්‍රිත්ව විදුහල් පිල හැකි සෑම උත්සාහයක්ම දරනු නිසැකය.

සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ අපරාජිතව පෙරමුණේ සිටී. එම කාණ්ඩයේම සිවුවැනි තැන සිටින ත්‍රිත්ව කණ්ඩායම අවිශ්ක ශේක්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි.

රාජකීය විදුහල් කණ්ඩායම

සාබිත් ෆෙරෝස් (නායක), ජනිඳු ඩිල්ෂාන්, මලීෂ මධුමෙවන්, හිමන්ත හිරුෂාන්, ඉඳුවර රණතුංග, ඉබ්‍රාහිම් බාරි, සමාධි ඉඳුවර, සසිත සියාත්, ෆාදිල් අද්නාන්, රදේශ් විජේරත්න, රසිත් කාව්‍යංජන, මුබීන් ෆලිල්, මිගාර මිහින්සක, නිපුන යශෝගන්, නිකිල් ද සිල්වා, දුලාන් ගුණවර්ධන, ලෙහාන් ගුණරත්න, තුලේබ් හසන්, දේශාන් පෙරේරා, යසිස් රශ්මික, කලිඳු නන්දිල, ඒ.එල්.නව්රාන්, ඉෆ්හාම් ෆරීඞ්, භානුක සමරනායක, චමෝද් කවිඳු, දේව් විදර්ශන
පුහුණුකරු - දුෂ්‍යන්ත් ලෙව්කේ

ත්‍රිත්ව විදුහල් කණ්ඩායම

අවිශ්ක ශේක් (නායක), නවීන් රාජරත්නම්, වොරන් වීරකෝන්, නිමේෂ් ඒකනායක, නෙරංජන් විතාරණ, ප්‍රවින්ද විජේතිලක, යොමාල් බණ්ඩාර, ජෝෂුවා පීටර්, කේ.කේ.ඩී. නෙත්වර, මොහොමඞ් ඉක්රාම්, ලෙනොක්ස් කළ්‍යණරත්න, ටෙහාන් කරුණානායක, අකිත සකලසූරිය, විශ්ව රණරාජා, ජනිඳු රත්නායක, රෙශාන් බණ්ඩාරනායක, මෙහදි අබ්දුල්ලා, මෙකන් යෂ්වන්ත්, ධිරාන් රත්වත්ත, විමල් ප්‍රභාත්, මනිඳු ජයසුන්දර, අමිත් කුලතුංග, දනිඳු හේරත්, හර්ෂ සමරසිංහ, මොහොමඞ් ෂුයෙබ්
පුහුණුකරු - ලොටේ රයිකබුලා 

 


අදහස් (0)

බ්‍රැඩ්බි පළිහ රැකගැනීමේ පළමු සටන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.