Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බාර්ටි - කොලින්ස් අවසන් සටන අද
ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය

බාර්ටි - කොලින්ස් අවසන් සටන අද

editorial - 2022 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගය අද (29 වැනිදා) ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි සහ ඇමරිකාවේ ඩැනියෙල් ‍කොලින්ස් අතර මෙල්බර්න් නුවර රොඩ් ලේවර් ඇරීනාහිදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් (6/1, 6/3) ලෙස ඇමරිකාවේ මැඩිසන් කීස් පරාජය කරමින් බාර්ටි මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර කොලින්ස් අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් (6/4, 6/1) ලෙස පෝලන්තයේ ඉගා ස්වියාටෙක් පරාජය කරමිනි.‍

මේ වන විට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බාර්ටි, මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි‍න්නේ වසර 44 කට පසුව ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ලෙසිනි.

මින් පෙර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව වූයේ ක්‍රිස්ටීන් ඕ’නීල්ය. ඇය 1978 වසරේදී අවසන් මහ තරගය ජයගනිමින් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනා ගත්ත‍ාය.

විසිඅට වැනි වියේ පසුවන කොලින්ස්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ‍ශූරතාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඇය එම අවස්ථාව උදාකරගත්තේ ගර්භාෂය ආශ්‍රිත සැත්කමකට මුහුණදී වසරකටත් අඩු කාලයකදී වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දෙකකට හිමිකම් කියන විසිපස් හැවිරිදි බාර්ටි, ඉන් පළමු වැන්න දිනාගත්තේ 2019 වසරේ ප්‍රංශ විවෘත ශූරතාවලියේදීය. ඉන් අනතුරුව ඉකුත් වසරේදී (2021) පැවැති විම්බල්ඩන් ශූරතාවලිය ජය ගැනීමටද බාර්ටි සමත් වූවාය.

මින් පෙර බාර්ටි සහ කොලින්ස් අවස්ථා 4 කදී එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර ඉන් අවස්ථා 3 කදීම කොලින්ස් පරාජය කිරීමට බාර්ටි සමත්වී ඇත. බාර්ටි පරාජය කිරීමට කොලින්ස් සමත්ව ඇත්තේ එක් අවස්ථාවකදී පමණි.

-036


අදහස් (0)

බාර්ටි - කොලින්ස් අවසන් සටන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.