Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018) අවසන් වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (19 වැනිදා) පැවැති තරගය ලකුණු 30 කින් පරාජයට පත්වීම නිසා බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. මුම්බායි කණ්ඩායමට එම අවස්ථාව අහිමි වූයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති තරගය ලකුණු 11 කින් පරාජයට පත් වීම හේතුවෙනි.
මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි කණ්ඩායමට මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 14 න් ජයගත හැකි වූයේ තරග 6 ක් පමණි. වසර 8 ක් පුරා මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මෙවර තරගාවලියේදී වේග පන්දු උපදේශකවරයකු ලෙස මුම්බායි කණ්ඩායමට සේවය සැපයීය.
හර්දීක් පාණ්ඩ්‍යා (කඩුලු 18), ජස්ප්‍රීත් බුම්රා (කඩුලු 17) සහ මායන්ක් මාර්කන්ඬේ (කඩුලු 15) මෙවර තරගාවලයේදී පන්දු යවන්නන් ලෙස මුම්බායි කණ්ඩායමට අනගි දායකත්වයක් ලබාදුන්නද එම කණ්ඩායමේ පිතිකරුවන් අතරින් යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ආරම්භක පිතිකරු සූර්යකුමාර් යාදව් පමණි. තරග 14 කදී අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 512 ක් රැස්කළ ඔහු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනි ස්ථානයට පත් විය.
මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට නායක විරාට් කෝලි සමත් වූ අතර තරග 14 කදී අර්ධ ශතක 4 ක් සමග ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 530 කි. තරගාවලිය පුරා කෝලිට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ ඒ.බී. ඩිවිලියස් තරග 12 කදී ලකුණු 480 ක් රැස්කළේ අර්ධ ශතක 6 ක් සමගිනි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලභීන් අතර කෝලි 6 වැනි ස්ථානයටත්, ඩිවිලියස් 8 වැනි ස්ථානයටත් පත් වූහ.
බැංගලෝර් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ උමේෂ් යාදව් මෙවර තරගාවලිය නිමා කළේ තරග 14 කදී කඩුලු 20 ක් දවාගනිමිනි. එම දස්කම් හේතුවෙන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමටද යාදව්ට හැකි විය. යුස්වේන්ද්‍ර චාහල් තරග 14 කදී කඩුලු 12 ක්ද, මොහොමඞ් සිරාජ් තරග 11 කදී කඩුලු 11 ක්ද දවාගනිමින් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මූලික වටයේ අවසන් තරගය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (20 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිත තිබිණ. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම කුමක්දැයි යන්න එම තරගයේ ප්‍රතිඵලය අනුව තීරණය වනු ඇත. සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර්කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන අවසන්ය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 14 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටි නමුත් ඔවුන්ගේ දළ ලකුණු වේගය ඍණ අගයක් පවතී. එසේ වුවත් ඊයේ රාත්‍රීයේ පැවැති තරගයේදී චෙන්නායි කණ්ඩායම හමුවේ පන්ජාබ් කණ්ඩායම පරාජයට පත්වූවා නම් රාජස්ථාන් කණ්ඩායම නිසැකවම අවසන් වටයට සුදුසුකම් ලබාගනු ඇත. පන්ජාබ් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නම් එම තරගයේදී ඉහළ දළ ලකුණු වේගයක් ඇතිව චෙන්නායි කණ්ඩායම පරාජය කිරීමට සිදුවනු ඇත.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.