Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බුම්රා ඉන්දියාවේ ජය ඉක්මන් කරයි
වි-20 ලෝක කුසලාන 2024

බුම්රා ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

editorial - 2024 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8‍ දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ‍අද (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙවර තරගාවලියේදී ඉන්දියාව පිට පිටම ලැබූ 5 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ඇ‍ෆ්ඝනිස්ථානයට  ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අස්මතුල්ලා ඔමර්සායි පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කළේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 7 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ඇෆ්ඝනිස්ථානයේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අර්ෂ්දීප් සිං ලකුණු 36 කට කඩුලු 3 ක්ද, කුල්දීප් යාදව් ලකුණු 32 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරෙ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැස්කළ අතර හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 24 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පන්දු 24 කට මුහුණදුන් විරාට් කෝලි, රෂීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලබා සිටියේ ලකුණු 24 ක් පමණි. රිෂාබ් පාන්ට් පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය. ෆසාල්හක් ෆකූරි ලකුණු 33 කට කඩුලු 3 ක්ද, රෂීඩ් ඛාන් ලකුණු 26 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.  

 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 181
(විරාට් කෝලි 24, රිෂාබ් පාන්ට් 20, සූර්යකුමාර් යාදව් 53, හර්දීක් පාණ්ඩ්‍යා 32, රෂීඩ් ඛාන් 26/3, ‍ෆසාල්හක් ෆකූරි 33/3)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 134  
(ගුල්බදීන් නයිබ් 26, නජිබුල්ලා සද්‍රාන් 19, අස්මතුල්ලා ඔමර්සායි 17, මොහොමඩ් නබී 14, ජස්ප්‍රීට් බුම්රා 07/3, අර්ෂ්දීප් සිං 36/3, කුල්දීප් යාදව් 32/2)


අදහස් (0)

බුම්රා ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.