Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෲක් - පොප් එංගලන්තය ආයෙමත් ගොඩගනිති
වෙලිංටන් ටෙස්ට් තරගය

බෲක් - පොප් එංගලන්තය ආයෙමත් ගොඩගනිති

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ අනාගත බලාපොරොත්තුව, හැරී බෲක් (123) සහ ඔලී පෝප් (66) එක්ව පිට පිටම දෙවැනි වතාවටත් එංගලන්ත කණ්ඩායම ගොඩගත්හ. වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 43 ක් ඇතුළත කඩුලු 4 ක් අහිමි කරගත්තේය. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හැරී බෲක් සහ ඔලී පෝප් දෙදෙනා ලකුණු 280 ක් කරා යාමට එංගලන්තයට මාර්ගය විවර කර දුන්හ.

දිනයේ අවසන් කොටස සම්පූර්ණයෙන්ම පාහේ තම ග්‍රහණයට ගත් එංගලන්ත වේග පන්දු යවන්නෝ, ලකුණු 79 ක් ඇතුළත නවසීලන්ත කඩුලු 5 ක් බිම දැමූ අතර අද සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 86 කි. ඒ වන විටත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 194 ක් පසුපසින් සිටියේය. 

හැරී බෲක්ගේ ශතකය පැමිණියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික ආකාරයෙන් නොව, වර්තමානයේදී එංගලන්ත කණ්ඩායම අනුගමනය කරන ‘බස්බෝල්’ තරග රටාවෙනි. යන්තම් පැය 3 ක් ඉක්මවූ පිතිහරඹයකදී, පන්දු 115 කින් ලකුණු 123 ක් ලබාගත් හැරී බෲක්ගේ ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය. 

බෲක් සහ ඔලී පෝප් අතර සම්බන්ධතාව ලකුණු 174 ක් වූවත් එම කාලය ඇතුළත දෙදෙනා මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 158 කි. කෙසේ වෙතත් ලකුණු 366 ක් වාර්තා වූ පළමු දිනයේදීම ඇද වැටුණු කඩුලු සංඛ්‍යාව 15 කි. ඕවරයකදී ලකුණු 5.12 ක වේගයෙක් ලකුණු ලබාගත් එංගලන්ත කණ්ඩායම තේ පානයෙන් මඳ වේලාවකට පසුව දැවී ගියේය. 

එහි වාසිය වූයේ නවසීලන්ත ඉනිම ආරම්භ වන විටත් තණතීරුවේ සෑහෙන තරමේ ජීවයක් පැවතීමයි. එංගලන්ත පන්දු යවන්නෝ එහි වාසිය උපරිමයෙන් උකහා ගත්හ. බ්‍රයිඩන් කාර්ස් කඩුලු දෙකක් දවාගනිද්දී සෙසු පන්දු යවන්නෝ කඩුල්ලක් බැගින් දවාගත්හ. 

හැරී බෲක් තවමත් ක්‍රීඩා කරමින් සිටින්නේ 22 වැනි ටෙස්ට් තරගයයි. ඒ තරග 22 ට ඔහු  ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 8 කි. අර්ධ ශතක 9 කි. ලකුණු 2521 කි. සාමාන්‍යය 60.05 කි. 

ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් බෲක් සහ ඔලී පෝප් දෙදෙනා ලකුණු 151 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්ත පිල ගොඩගත්හ. එම තරගය ජයගත් එංගලන්තය තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 


එංගලන්තය - පළමු ඉනිම 280 යි
(සැක් ක්‍රෝලි 17, ජේකබ් බෙතීල් 16, හැරී බෲක් 123, ඔලී පෝප් 66, ක්‍රිස් වෝක්ස් 18, මැතිව් හෙන්රි 43/2, නේතන් ස්මිත් 86/4, විලියම් ඕ’රූක් 49/3)

නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 5 ට 89 යි
(ටොම් ලෙතම් 17, ඩෙවොන් කොන්වේ 11, කේන් විලියම්සන් 37, බ්‍රයිඩන් කාර්ස් 28/2)

- 213


අදහස් (0)

බෲක් - පොප් එංගලන්තය ආයෙමත් ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.