Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට....)
නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දිනේෂ් චන්දිමාල් ශතකයක් (116) ලබාගත් නමුත් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 46 කට සීමා කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේත් චන්දිමාල්මය. කරුණාරත්න සිය 47 වැනි ලකුණ සොයා දිව යද්දී චන්දිමාල් පන්දු යවන්නාගේ අන්තයේ සෙල් පිළිමයක් මෙන් නොසැලී සිටියේය.
චන්දිමාල් අඩුතරමේ දුවන්නට උත්සාහ කරන්නේවත් නැති බව දුටු දිමුත් ආපසු හැරී තම කඩුල්ල වෙත දිවගියත් ග්ලෙන් පිලිප්ස් සහ ටොම් ලෙතම් දෙදෙනා දිමුත්ගේ දෙපාවලට වඩා ඉක්මන් වී තිබිණ.
දිමුත් ආපසු ක්‍රීඩාගාරයට ගියේ කෝපයෙන් පුපුරා හැළෙමිනි. එහෙත් චන්දිමාල් දැවී යාමෙන් පසුව ක්‍රීඩාගාරයට යන විට දිමුත්ගේ කෝපය තරමක් පහව ගොස් තිබිණ.
“පැවිලියන් එකට ආපු ගමන්ම මම එයාගෙන් සමාව ඉල්ලා හිටියා” තරගයෙන් පසුව චන්දිමාල් කියා සිටියේය.
ශතක ලාභියා දුවද්දී දැවී යාම විස්තර කළේ මෙලෙසිනි.
“දුවද්දී දැවී යන්න කලින් එයාට පාදයේ මස්පිඬු පෙරළීම් තිබුණා.”
“චන්දි පුළුවන් ලකුණ විතරක් ගමු. හදිස්සි ලකුණු වලට යන්න ඕනෙ නෑ... මගේ මස්පිඬු පෙරළීම් වෙනවා. මට ටික වෙලාවක් දෙන්න ඒක හදාගන්න” කියල එයාම මට කිව්වා.
“එයා දුවපු ලකුණ හදිසි ලකුණක්. ඒත් මම මානසිකව ලෑස්ති වෙලා හිටියේ නෑ ඒ ලකුණ ගන්න. ඒක තමයි එතන වුණේ..... ඒත් ඒක මගේ වැරැද්ද.... මගේ වැරැද්ද මම පිළිගන්නවා...” චන්දිමාල් කීවෙය.
අංක 3 පිතිකරුවා වූවත්, පළමු ඕවරයේදීම පැතුම් නිස්සංක දැවී යාම හේතුවෙන් දෙවැනි ඕවරයේ සිටම පිටියට යාමට චන්දිමාල්ට සිදුවිය. එක් අතෙකින් එය ආරම්භක පිතිකරුවාගේ බරට කරගැසීමකි.
එහෙත් මුහුණ දුන් පළමු පන්දුවේ සිටම, චන්දිමාල් නිර්භයව පිත්ත හැසිරවූයේ නවසීලන්ත පන්දු යවන්නන්ට පිතිකරුවන්ගේ කරේ නැගීමට අවස්ථාව නොදෙමිනි.
වාසනාවට මෙන් පළමු ටෙස්ට් තරගයේ තණතීරුවට වඩා මෙම තරගයේ තණතීරුව පිතිකරුවන්ට තරමක් වාසිදායක එකක් විය. අද දිනයේ ගාල්ලේ පැවැති අධික උෂ්ණත්වය මෙන්ම ආර්ද්‍රතාව වැඩිවීමටත් මුහුණ දෙමින් චන්දිමාල් තමන්ගේ සුපුරුදු පහර කරා ගියේය..
දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යනු වමත් - දකුණත් සුසංයෝගයකි. දෙදෙනාම වසර 15 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරති. එබැවින් දෙදෙනා අතර පවතින අනෝන්‍ය වැටහීම ඉහළ මට්ටමක පවතී.
“අපි දෙන්නා එකට පන්දුවට පහර දෙන සමහර තරගවලදී මම කලබල වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට එයා ඇවිදින්, එයාගේ දැනුම මට දීලා, මාව පාලනය කරගන්න අවස්ථාවල් හුඟාක් තියෙනවා. එයා වගේ කෙනෙක් එක්ක එකට පන්දුවට පහරදීම එක්තරා විදිහක මහඟු අවස්ථාවක්” යයි චන්දිමාල් කියයි.
වර්තමාන ටෙස්ට් කණ්ඩායම තරමක් සුවිශේෂී කණ්ඩායමකි. එහි නායකයෝ සිව් දෙනෙක් සිටිති.
ධනංජය ද සිල්වා වත්මන් නායකයාය. ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් තිදෙනාත් හිටපු නායකයෝ වෙති. එවන් කණ්ඩායමක උපායශීලි බව අනෙක් බොහෝ කණ්ඩායම් වලට ඉහළින් තිබේ.
“දිමුත්ට වගේම ඇන්ජිටත් දෙයක් පෙනෙන විදිහට වඩා වෙනස් විදිහකට මට ඒක පේනවා. ඒ වගේ වෙලාවක අපි තුන්දෙනා දැන් ඉන්න නායකයාට කියනවා අපිට පෙනෙන දේ ගැන.”
“ඒක තමයි අපේ සාර්ථකත්වයේ රහස”
“සමහර වෙලාවට තනි එක්කෙනෙක්ට හිතෙන දේ වරදින්න පුළුවන්. ඒත් මැද්දෙදි (තරගයේදී) මොනවා හරි අර්බුදකාරී අවස්ථාවක් ආවම අපි තුන් හතර දෙනා කතාබහ කරලා තමයි තත්ත්වය පාලනය කරගන්නේ”
මේ පිතිකරුවන් තිදෙනා අතර ඇත්තේ අපූරු සම්බන්ධතාවකි. ඔව්හු තිදෙනාම අනෙක් අයගේ ශක්‍යතා මෙන් දර්වලතාත් හොඳින්ම දනිති. අයෙක් අමාරුවේ වැටෙන විට අයෙක් ඉදිරියට පනී. ඔහු අමාරුවේ වැටෙන විට අනෙකා ඉදිරියට පනී. හොඳ සම්බන්ධතා ගොඩනැඟෙන්නේ ඒ ආකාරයෙනි.
“කව්රු හරි පන්දු යවන්නෙක් ගෙන් මට තර්ජනයක් තියෙන වෙලාවට මම දිමුත්ට ඒ ගැන කියනවා. එතකොට එයා වැඩිපුර ඒ පන්දු යවන්නාට මුහුණ දෙනාව. දිමුත් අමාරුවේ වැටුණාම මම ඒ පන්දු යවන්නාව ගන්නවා. එතැන ලොකු විශ්වාසයක් තියෙනවා” යයි කී චන්දිමාල්....
අපි ටෙස්ට් ක්‍රිකට් නෙමේ එක්දින හෝ මොන ආකාරයේ ක්‍රීඩාවක් කළත් වෙන්න ඕන දේ මේකයි” යයි ද කීවේය.
වසර 14 ක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළද චන්දිමාල් දිගු කලක් ක්‍රීඩා කළේ අංක 5 ස්ථානයෙනි. එහෙත් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමේ පුහුණුකරුවාත් තේරීම් කමිටුවත් චන්දිමාල්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු නොපැකිළවම ඒ අභියෝගය බාරගත්තේය.
“කණ්ඩායම ගැන මට හිතන්න වුණා. මොකද කමිඳු අපේ නැඟීඑන තරුණ ටෙස්ට් ක්‍රීඩකයෙක්. අනෙක මගේ වයසත් එක්ක කඩුලු රකින්නත් අමාරුයි.... මට දැන් 34 ක්”
“ඊට කළින් තරග දෙකකදී විතර අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළත්, මම ඒ ස්ථානයේ හොඳින් සෙල්ලම් කරලා තිබුණේ නෑ. ඒත් පුහුණුකරු (සනත් ජයසූරිය මහතා) මට විශාල සහතිකයක් දුන්නා”
“ඔහු කිව්වේ, අංක 3 ස්ථානයේදී මම ලකුණු ගැහැව්වත් නැතත්, ඔහු ඉන්නකම් මම ඒ ස්ථානයේ ක්‍රීඩා කරනවා කියන එකයි. ඒ කතාව මට විශාල ආත්ම විශ්වාසයක් ගෙනාවා” යයි චන්දිමාල් කීවේය.
පළමු ටෙස්ට් තරගයේදී අංක 3 ස්ථානයට පිවිසීමෙන් පසුව මුහුණ දුන් ඉනිම තුනේදී චන්දිමාල්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 30, 61 සහ 116 ක් වශයෙනි.
පළමු ඕවර 10 දී නවසීලන්ත වේග පන්දු යවන්නෝ පන්දු යැවූහ. ගාල්ලේදී වේග පන්දු යවන්නන් පන්දු යවන විට පිතිකරුවෝ සතුටින් උද්දාම වෙති. මක්නිසාද යත් එංගලන්තයේ මෙන් දෝලනයක් ගාල්ලේ නැති බැවිනි. පන්දුව කඩුල්ලට ඈතින් එන්නේ නම් එය ඊළඟට නතර වන්නේ හතරේ සීමාවෙන් එපිටය.
විශේෂයෙන්ම ඉනිම ආරම්භයේදී, පන්දු රකින්නන් පවා පිටියේ එක් පසෙක සිටියදී, ලකුණු ලබාගැනීම පහසුය. එහෙත් දඟ පන්දු යවන්නන් පැමිණීමත් සමගම පිතිකරුවන්ට තමන්ගේ පහර පාලනය කරගැනීමට සිදුවනුයේ ඔවුන් නිශ්චිත සැලැස්මක් ඇතිව, එකම ආකාරයේ පිටියක් සකස් කරමින් එකම විදිහට පන්දු යැවීම ආරම්භ කරන බැවිනි.
චන්දිමාල් අලංකාර ලකුණු 116 ක් ලබාගෙත් නමුත් පිත්තේ දාරයේ වැදී හතරේ සීමාවට ගිය පන්දු නොතිබුණා ද නොවේ.
“ලකුණු 100 ක් ගහන්න ඒ වගේ දේවලුත් තියෙන්න ඕනේ. අපි ගහපු ශතක දිහා බැලුවම පේන දෙයක් තමයි පොඩි වාසනාවක් තියෙන්නත් ඕනේ කියන එක.... මොකද පිත්තේ දාරයේ නැත්නම් කොණක වදින පන්දුව, ක්‍රීඩකයන් අතට නොයා, ක්‍රීඩකයන් අතරින් රිංගාගෙන හතරේ සීමාවට යාම එක්තරා විදිහක වාසනාවක් තමයි”
අද දිනයේ නවසීලන්ත පන්දු රකින්නන් අතින් උඩපන්දු හතරක්ම ගිළිහී ගිය නමුත් චන්දිමාල්ගේ ඉනිම නිකැළැල්, එනම් ගිළිහී ගිය උඩපන්දු වලින් තොර, ඉනිමකි.
මේ වන විට ලකුණු 306 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 200 ක් විතර උවමනා බව චන්දිමාල් කීවේය.
“මේ තණතීරුව අනෙක් එකට (පළමු තරගයේ තණතීරුවට) වඩා ටිකක් තදයි. හෙටත් පිතිකරුවන්ට හොඳ තත්ත්වයක් තියේවි.”
“ඇන්ජලෝයි කමිඳුයි දැනට මැද්දේ ඉන්නවා. ධනංංජය සහ කුසල් මෙන්ඩිස් එන්න ඉන්නවා. ඒ හින්දා අපිට තවත් ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. කොහොම වුණත් හෙට හවස් වෙනකොට නැත්නම් අනිද්දා (28 වැනිදා) උදේ වෙනකොට තණතීරුව දඟ පන්දු යවන්නන්ට හුඟාක් වාසිදායක වේවි” යයි ටෙස්ට් තරග 83 ක අත්දැකීම් ඇති, ටෙස්ට් ලකුණු 5850 ක් ඉක්මවා ලබා ඇති චන්දිමාල් කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.