Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මයිකල් ක්ලාක් සමුගැනීමට සූදානම්

මයිකල් ක්ලාක් සමුගැනීමට සූදානම්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාලියේ අවසන් මහ තරගයෙන් පසුව තමන් එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගන්නා බව  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පැවසීය. අවසන් මහ තරගයට පෙර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මයිකල් ක්ලාක් මේ බව පවසා සිටියේය.

”හෙට මගේ අවසන් එක්දින අන්තර්ජාතික තරගයයි” යයි පුවත් පත් සාකච්ඡාව ආරම්භයේදීම මයිකල් ක්ලාක් කියා සිටියේය.

”මා මේ දැන් ටිකකට කලින් මගේ කණ්ඩායමේ සාමාජිකයන්ට කතා කළා..ජේම්ස් සදර්ලන්ඞ්ට (ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානියා) හා රොඞ්නි මාෂ්ටත් (ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු ප‍්‍රධානියා) ඩැරන් ලීමන්ටත් (ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකර) කතා කරලා හෙට මගේ අවසන් එක්දින තරගය බව ඔවුන්ට දැනුම් දුන්නා” යයි මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් ඇරඹීමටත් මත්තෙන් මයිකල් ක්ලාක් පැවසීය.

”හෙට මගේ 245 වැනි එක්දින තරගයයි. මේ තරම් තරග සංඛ්‍යාවක් වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල නියෝජනය කිරීමට ලැබීම ගැන මා වටා සිටි අයටත් මට සහයයෝගය දුන් අයටත් කෘතවේදී වෙනවා. විශේෂයෙන්ම ඒ සෑම තරගයකදීම මාත් එක්ක කී‍්‍රඩා කළ සියලූම කී‍්‍රඩකයන්ටත් ස්තුති කරනවා” යයි පැවසූ මයිකල් ක්ලාක් එක්දින තරග බිමෙන් සමුගැනීමට ගත් තීරණය තමන්ගේ ටෙස්ට් තරග දිවිය වඩාත් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට ඉවහල් වේ යයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.

”වසර හතරකට ඉහතදීම මේ කණ්ඩායමේ නායකත්වය ලබාගන්න තරම් මා වාසනාවන්ත වුණා. මේ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කරගන්න මට ඒක හොඳ අවස්ථාවක් වුණා. මා හිතන්නේ ඊළඟ ඕස්ටේ‍්‍රලියානු නායකයාටත් ඒ අවස්ථාව හිමි විය යුතුයි”

”අනෙක් අතට මා දිගටම මේ නායකත්වයේ රැඳී සිටියොත් මා හිතන්නේ නෑ ඊළඟ ලෝක කුසලාන තරගාවලිය දක්වා මා ශාරීරිකව ශක්තිමත් තත්ත්වයෙන් සිටීවි කියලා..ඒ නිසා නික්ම යන්න නියම වෙලාව මේක තමයි”... යයිද මයිකල් ක්ලාක් පැවසීය.

තමන්  ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායම බාර ගන්නා අවස්ථාව වන විට එය තිබූ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයට එය පත්කිරීමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායම හැර යන බව පැවසූ මයිකල් ක්ලාක්, පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වූ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ බවද සිහිපත් කළේය.

”බලමු.... හිතන විදිහට මේ අවසන් තරගයේදී අපට සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒත් ඇත්තටම මා කී‍්‍රඩා කළ කාලයේදී ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට වගේම අර්ධ අවසන් පූර්ව තරගයකටත් කී‍්‍රඩා කිරීමට මට අවස්ථාව ලැබුණා.”

”ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් දිගින් දිගටම සාර්ථක වීම මගේ අපේක්‍ෂාවයි. එනිසා එක්දින තරග වලින් ඉවත් වීම ඒ සඳහා මට වඩාත් උපකාරී වේවි” යයිද මයිකල් ක්ලාක් පැවසීය.

එක්දින අන්තර්ජාතික තරග 244 කට කී‍්‍රඩා කර ඇති මයිකල් ක්ලාක්, ඉනිමකදී ලකුණු 44.42 ක සාමාන්‍යයක් සහිතව එක්දින ලකුණු 7907 ක් ලබා සිටී. එක්දින ශතක 8 ක් සහ අර්ධ ශතක 57 ක් ලබා සිටින මයිකල් ක්ලාක් විසින් ඕස්ටේ‍්‍රලියාව මෙහෙයවනු ලැබූ එක්දින තරග 73 කින් 49 ක් ජයගෙන තිබේ. ලෝක කුසලාන අවසන් මහ තරගය ජයගතහොත් එය මයිකල් ක්ලාක් නම් නායකයාගේ 50 වැනි එක්දින ජයග‍්‍රහණයද වනු ඇත.

 


අදහස් (0)

මයිකල් ක්ලාක් සමුගැනීමට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.