Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට
එල්.පී.එල්. - 2024

මහනුවර කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට

editorial - 2024 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කළ මහනුවර කණ්ඩායම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූ යාපනය කිංග්ස් කණ්ඩායම සහ මෙම තරගය ජයගත් මහනුවර කණ්ඩායම අතර එළබෙන සෙනසුරාදා පස්වරු 7.30 ට ‍ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංග‍ණ‍යේදී තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙනු ඇත. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග කොළඹ කණ්ඩායමට තරගාවලියේ අවසන් මහ තරගය කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩක‍යෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ලකුණු 86 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් (54) සහ දසුන් ශානක (39) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කර දුන්හ.

පන්දු 36 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සැරසීමට කමිඳු සමත් වූ අතර පන්දු 21 කට මුහුණදුන් ශානක හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය. බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ කඩුලු 3 බැගින් දවාගත් නමුත් ඔවුන්ට මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සදීර සමරවික්‍රම පන්දු 45 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් රැස්කළේය. මෙවර තරගාවලියේදී සදීර ලබාගත් එකම අර්ධ ශතකයද මෙය විය.

ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ රහ්මනුල්ලා ගුර්බාස් (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 40 ක් එක්කළ සදීර, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ (28) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

පන්දු 29 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ දුනිත්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් හස්නේන් ඕවර 3 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත් අතර සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කළ වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳහෙළුවේය.

 

කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 159
(රහ්මනුල්ලා ගුර්බාස් 30, සදීර සමරවික්‍රම 62, දුනිත් වෙල්ලාලගේ 28, මොහොමඩ් හස්නේන් 24/3, වනිඳු හසරංග 21/2)  

මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 18.4 කදී කඩුලු 8 කට 163
(ඔන්ඩ්‍රි ෆ්ලෙචර් 20, කමිඳු මෙන්ඩිස් 54, දසුන් ශානක 39, බිනුර ප්‍රනාන්දු 35/3, මතීෂ පතිරණ 38/3) 

 


අදහස් (0)

මහනුවර කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.