Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලි ද්විත්වයේම වත්මන් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායමට එරෙහිව ලකුණු 44 - 14 ක ජයක් වාර්තා කිරීමට නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සමත්විය. තරගයේ පළමු භාගය නිමාවෙද්දී සත්කාරකයෝ ලකුණු 22-7 කින් පෙරමුණ ගෙන සිටියහ.
මහනුවර පිල ගෝල් 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත් අතර සිංගප්පූරු පිල ලබාගත්තේ ගෝල දිනුම් දෙකක් පමණි.
සිංගප්පූරු රග්බි කණ්ඩායම සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
අවසන් මොහොතේදී මෙම කෙටි සංචාරයෙන් ඉවත්වීමට සිදුවූ සිංගප්පූරු පිලේ නායක ගැස්පර් ටැං සමග තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ තරගයට එක්නොවූහ. මහනුවර ක්‍රීඩා සමාජයේ ද නායක රොෂාන් විරරත්න සහ ඔහුගේ සොයුරු ගයාන් වීරරත්න මෙන්ම බුවනෙක උඩංගමුව මේ තරගයට එක් නොවූයේ පසුගිය දිනවල ආබාධයකට ලක්ව විවේක ගනිමින් සිටි බැවිනි.
ජාතික කණ්ඩායමේ රාජකාරිය නිමාවී නැවත සිය ක්‍රීඩා සමාජයට එක්වූ ජේසන් දිසානායක, ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචඞ් ධර්මපාල සහ දනූෂ දයාන් යන සියලුදෙනාම ආක්‍රමණශීලී තරග රටාවේ මුදුනටම පැමිණ සිටියහ. ෆාසිල් මරිජාගේ ඉක්මන් ස්ථාන මාරුවීම් ද සිංගප්පූරු ආරක්ෂක වළල්ල වෙහෙසට පත් කරවූවකි. නයිජල් රත්වත්තගේ නිවැරැදි පහරවලින් අතිරේක ලකුණු ලැබෙද්දී ප්‍රතිවාදීන්ගේ පීඩනය තවත් වැඩි විය.
තරගයේ 12 වැනි මිනිත්තුවේදී ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරිජා සිංගප්පූරු ආරක්ෂක වළල්ල දෙකඩ කරමින් දිවගොස් උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. ෆුල් බෑක් ක්‍රීඩක නයිජල් රත්වත්ත එහි ප්‍රවර්ථනය සාර්ථක කරමින් අතිරේක ලකුණු දෙකකුත් එකතු කළේය.
අනතුරුව රිචඞ් ධර්මපාල පිටියේ මැද සිට ඉතා වේගයෙන් දිවගොස් උත්සාහක දිනුමක් තැබූ අතර නයිජල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
මිනිත්තු තුනකට පසුව නයිජල් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේ සිංගප්පූරු ක්‍රීඩකයන් නීතිවිරෝධී පැත්තේ රැඳී සිටීම හේතුවෙනි. විඟර් ක්‍රීඩක අනුරුද්ධ විල්වර පළමු භාගය නිමාවීමට පෙර උත්සාහක දිනුමක් තැබුවේය.
සිංගප්පූරු ෆුල් බෑක් ක්‍රීඩක ජොනතන් බාබර් විසින් තබන ලද උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් පළමු භාගය නිමාවෙද්දී ලකුණු සංඛ්‍යෘව දිස්වූයේ 22-7 ලෙසින් මහනුවර පිල ඉදිරියේ තබමිනි.
එහෙත් විඟර් ක්‍රීඩක නස්රුල් හාඩි බින් හනෆි ශ්‍රී ලංකා පිලේ සීමා ඉරට මීටර් 5ක් මෑතින් පන්දුව බිම දැමීම හේතුවෙන් ඔවුන්ට තවත් උත්සාහක දිනුමක් තැබීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. එසේ නොවුවානම් තරගයේ වෙනස්වීමට පවා ඉඩ තිබිණි.
ඉතා ශක්ති සම්පන්න ආරක්ෂක වළල්ලක් ගොඩ නගමින් සිංගප්පූරු කණ්ඩායම මහනුවර පිලට හොඳ සටනක් දීමට වරින් වර සමත්විය. එසේ වුවත් එවැනි අවස්ථාවන් ලකුණු බවට පත් කරගැනීමේ වාසියට හරවාගැනීමට ඔවුහු අසමත්වූහ.
ඉන් කදිම ඵල නෙලාගත් මහනුවර ක්‍රීඩා සමාජයේ නයිජල් රත්වත්ත ඉලක්කයට දඬුවම් පහරක් එල්ල කළ අතර ෆාසිල් මරිජා ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම තැබුවේය.
විංග් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් සිංගප්පූරු ක්‍රීඩකයන් කිහිපදෙනකු අබිබවා ගොස් සිය පළමු උත්සාහක දිනුම ලබාගත්තේය. තරගය පුරාම සිය පා පහර ඉතා හොඳින් ක්‍රියාත්මක කළ නයිජල් රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කර අතිරේක ලකුණු දෙකක් ලබා දුන්නේය.
තරගය අත් නොහැර දිගටම ඇදගෙන ගිය සිංගප්පූරුව දෙපිලේම ක්‍රීඩකයන් ඉදිරියට තල්ලුවී ගිය මොහොතක ඔවුන්ගේ තරබාරු අංක 8 ක්‍රීඩක පීටර් විලියම් මැකාෆී තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය. නැවත වරක් ෆුල් බෑක් ක්‍රීඩක ජොනතන් බාබර් එය සාර්ථකව ප්‍රවර්ථනය කර අතිරේක ලකුණු දෙකක් ලබා දුන්නේය.
නමුත් මහනුවර ක්‍රීඩා සමාජයට තවත් උත්සාහක දිනුමක් ලබාදෙමින් නයිජල් රත්වත්ත ඔහුගේ නම ඉදිරියේ එය සටහන් කරගත්තේය. අර්ෂද් ජමාල්ඩීන් එය ප්‍රවර්ථනය කර අතිරේක ලකුණු දෙකක් එකතු කළේය.
තරගයේ විනිසුරු ලෙස ප්‍රියන්ත ගුණරත්න මහතා කටයුතු කළ අතර ඉෂාන්ත අබේකෝන් සහ සරත් මඩුගල්ල මහත්වරු පැති විනිසුරුවරුන් ලෙස වැඩ කළහ.
තුවාන් ඩූල් මහතා තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළේය.
ඡායාරූප - කටුගස්තොට ධම්මික ගුණවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.